ශ්‍රී ලංකාවේ ලක්ෂ 5කට ආසන්න පිරිසක් විරැකියාවෙන් - වැඩි පිරිසක් කාන්තාවන්

Morning commuters walk outside the Colombo World Trade Center in the central business district of Colombo, Sri Lanka,

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg via Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15ට වැඩි මුළු ජනගහනයෙන් ලක්ෂ 5කට ආසන්න පිරිසක් විරැකියාවෙන් පෙළෙන බව 2024 ජන හා නිවාස සංගණනයෙන් පෙන්වා දෙයි.

2024 වසරේදී ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුව කරන ලද ජන හා නිවාස සංගණන වාර්තාවට අනුව මෙරට මුළු ජනගහනයෙන් වයස අවුරුදු 15ට වැඩි වැඩ කළ හැකි වයසේ ජනගහනය ලක්ෂ 172කට වැඩි ය.

එයින් 491,709 දෙනෙකු වැඩ කළ හැකි වයසේ සිටින විරැකියාවෙන් පෙළෙන, රැකියා වියුක්ත ජනගහනය ලෙස හඳුනාගෙන ඇත.

එම වාර්තාවට අනුව ආර්ථික වශයෙන් ක්‍රීයාශීලි, රැකියාවල නියුක්ත ජනගහනය 7,671,232 කි.

ජන හා නිවාස සංගණනය කළ කාලය තුළ ශ්‍රම බලකායට අයත් මුළු ජනගහනය ලක්ෂ 81කි.

ආර්ථික වශයෙන් ක්‍රියාශීලි නොවන ජනගහනයට අයත් වන්නේ කවුරුන් ද?

"වයස අවුරුදු 15 හා ඊට වැඩි ජනගහනයෙන්, එනම් වැඩ කළ හැකි වයසේ ජනගහනයෙන් සියයට 47.7ක් පුරුෂයින් වන අතර සියයට 52.3ක් ස්ත්‍රීන් වේ. ආර්ථික වශයෙන් ක්‍රියාශීලී ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් පිරිමි පුද්ගලයින් වන අතර එම අගය සියයට 68කි. ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවන ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ත්‍රීන් වන අතර එම අගය සියයට 70.6කි," යනුවෙන් පසුගිය දා නිකුත් කරන ලද 2024 ජන හා නිවාස සංගණන අවසන් වාර්තාවේ ශ්‍රම බලකායේ ස්ත්‍රී පුරුෂ නියෝජනය සම්බන්ධයෙන් විස්තර කර තිබේ.

වැඩ කරන වයසේ ජනගහනයට අයත් වුව ද ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවන පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 91ක් බවත්, එම පිරිස අවුරුදු 15 හා ඊට වැඩි පුර්ණ කාලීන ශිෂ්‍යයන්, ගෘහ කටයුතු කරන්නන්, විශ්‍රාමිකයින්, රෝගීන්, යනාදී අයගෙන් සමන්විත වන බව වාර්තාවේ සඳහන් වේ.

ආර්ථික වශයෙන් ක්‍රියාශීලි නොවන ජනගහනය යන්නෙන් අදහස් වන්නේ "වැඩ කළ හැකි වයසේ ජනගහනය තුළ සිටින දැනට රැකියාවක් නොකරන සහ රැකියාවක් කිරීමට බලාපොරොත්තුවක් නොමැති පිරිස ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවන ජනගහනය," වේ.

එමෙන් ම, "රැකියාවක් අපේක්ෂාවෙන් සිටින නමුත් පසුගිය සති හතරක කාලය තුළ රැකියාවක් සෙවීම සඳහා කිසිදු පියවරක් නොගත් අය හෝ, ඉදිරි සති දෙක තුළ රැකියාවක් ලැබුණහොත් එය භාර ගැනීමට සූදානම් නොමැති අය ද, ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවන ජනගහනයට ඇතුළත්," බව වාර්තාවේ දැක්වේ.

මෙලෙස ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනයට, පූර්ණ කාලීනව අධ්‍යාපනය ලබන්නන් 2,365,048 දෙනෙකු, ගෘහ කටයුතු කරන්නන් 3,358,527ක්, විශ්‍රාමික/ වයස්ගත පුද්ගලයින් 2,190,230ක්, ආබාධ සහිත / දීර්ඝ කාලීන අසනීප සහිත පුද්ගලයින් 517,647 දෙනෙකු, රැකියා කිරීමට උනන්දුවක් නොමැති 447,121ක්, වෙනත් හේතූන් මත රැකියා නොකරන 173,895ක් සහ ආයෝජන, කුලී සහ පොලී අදායම් ලබන පුද්ගලයන් 59,552ක් අයත් වේ.

ආර්ථිකයට ක්‍රියාශීලි ලෙස දායකත්වය දක්වන්නේ කවුරුන් ද?

ආර්ථික වශයෙන් ක්‍රියාශීලි ජනගහනය නාගරික, වතු නාගරික, ග්‍රාමීය සහ වතු ග්‍රාමීය ලෙස අංශ 4කට බෙදා වෙන් කර ඇත.

"ආර්ථික වශයෙන් ක්‍රියාශීලී ජනගහනය එක් එක් අංශ අනුව පැතිරී ඇති ආකාරය සලකා බැලීමේදී, ග්‍රාමීය අංශයේ නියෝජනය සියයට 78.9ක් හා නාගරික අංශයේ නියෝජනය සියයට 16.9කි. තවද, ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික කටයුතු සිදු කරන වතු ග්‍රාමීය හා වතු නාගරික ලෙස හඳුනා ගෙන ඇති අංශවල නියෝජනය පිළිවෙලින් සියයට 4.1ක් හා සියයට 0.1ක් වේ," යැයි වාර්තාවේ සඳහන් වේ.

පොදුවේ වයස අවුරුදු 40ත් 44ත් අතර කාණ්ඩයේ වැඩි සංඛ්‍යාවක් ආර්ථික වශයෙන් ක්‍රියාශීලි ය.

රැකියා නියුක්ත ජනගහනයෙන් වැඩි කොටසක් ග්‍රාමීය ජනගහනය වන අතර නාගරික ජනගහනය දෙවන ස්ථානයේ පසුවේ.

ඉහත කාණ්ඩ 4හි රැකියා නියුක්තියේ කාන්තා සහභාගීත්වයේ ඉහළ ම ප්‍රතිශතයක් වාර්තා කරන්නේ සහ වතු නාගරික කාණ්ඩ දෙක ය.

සංඛ්‍යාත්මකව ග්‍රාමීය කාන්තාවෝ වැඩි පිරිසක් අනෙකුත් කාණ්ඩවලට වඩා රැකියාවල නිරත වී සිටිති.

ග්‍රාමීය රැකියා වියුක්තිය ඉහළට

මෙම සංගණනයට අනුව රැකියා වියුක්ත සමස්ත ජනගහනය ලක්ෂ 5කට අසන්න වේ.

ඒ අතුරින් වැඩි ම පිරිසක් ග්‍රාමීයව ජීවත් වන අය වෙති.

අවු. 20-24 අතර වයස් කාණ්ඩයේ වැඩි පිරිසක් මෙලෙස රැකියා වියුක්තව සිටින අතර, මුළු රැකියා වියුක්තියෙන් 52.7ක්%ක් කාන්තාවෝ වෙති.

සංඛ්‍යාත්මකව වැඩි ම රැකියා වියුක්තියක් ඇත්තේ කොළඹ, ගම්පහ සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ය.

කෙසේවෙතත් රැකියා වියුක්ති අනුපාතය ඉහළ අගයක පවතින්නේ මඩකළපුව, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල වේ.

ශ්‍රම බලකායේ අධ්‍යාපන මට්ටම

ජන හා නිවාස සංගණනය සම්බන්ධව 2024 අවසන් වාර්තාවේ දක්වා ඇති පරිදි රැකියා නියුක්ත ජනගහනයෙන් 117,293 දෙනෙකු පාසල් ගොස් නැත.

එමෙන් ම, රැකියා නියුක්ත ජනගහණයෙන් 6,642ක් විශේෂ පාසලක හෝ අධ්‍යාපන ඒකකයක ඉගෙන ගත් පිරිස වන අතර, 1-5 දක්වා ශ්‍රේණි සමත් 677,130ක්, 6-8 දක්වා ශ්‍රේණි සමත් 790,085 දෙනෙකු සහ 9-10 දක්වා ශ්‍රේණි සමත් 2,023,455 එම පිරිසට අයත් වෙති.

ශ්‍රම බළකායේ කාන්තාවෝ බොහෝවිට ඉහළ අධ්‍යාපනයක් සහ කුසලතා ඇති අය වීම විශේෂත්වයකි.

උසස් පෙළ හෝ ඊට සමාන සුදුසුකම් ලැබූ මෙන් ම, උපාධිය හෝ ඊට ඉහළ සුදුසුකම් ලබා ඇති ශ්‍රම බලකායට සම්බන්ධ වී සිටින කාන්තාවන්ගේ ප්‍රතිශතය ඉහළ මට්ටමක ඇත.