අත්අඩංගුවට ගත් රවී කරුණානායක ඇප මුදා හැරියේ ඇයි? අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?

රවී කරුණානායක
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන නියම කළේ, සැකකාර රවී කරුණානායක රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස ය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ද එම නියෝගයේ සඳහන් විය.

අල්ලස් කොමිසමේ කරුණු දැක්වීම

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරිනිය කියා සිටියේ, 2015 වසරේ ජනවාරි මස 12 වන දා මෙම සැකකරු මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ මුදල් අමාත්‍යංශයේ විශේෂ ව්‍යාපෘතියකට යැයි සඳහන් කරමින් සම්බන්ධීකරණ නිලධාරීන් දෙදෙනෙකු සහ කළමනාකාර සහකාරවරයෙකු ජාතික ලොතරැයි මණ්ඩලය මගින් බඳවාගෙන ඇති බව ය.

එසේ බඳවා ගත් සේවකයින් තිදෙනා මුදල් අමාත්‍යාංශයේ කිසිදු විශේෂ ව්‍යාපෘතියක සේවය කර නොමැති බවත් එම නිලධාරිනිය සඳහන් කළා ය.

එම සේවකයින් තිදෙනාට ජාතික ලොතරැයි මණ්ඩලයෙන් වැටුප් ගෙවා ඇති අතර, ඔවුන් ජාතික ලොතරැයි මණ්ඩලයේ කිසිදු රාජකාරියක් සිදු කර නොමැති බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි අධිකරණයේදී කරුණු දැක්වීය.

මේ යටතේ අදාළ සේවකයින් තිදෙනාට රුපියල් ලක්ෂ 37කට ආසන්න මුදලක් ගෙවා ඇති අතර එම සේවකයින් සැකකාර හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික කටයුතු සඳහා යොදාගෙන තිබූ බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවට ද කරුණු අනාවරණය කෙරිණි.

ඒ අනුව බඳවා ගැනීමේ පටිපාටියට පටහැනි ලෙස පුරප්පාඩු නොමැති අවස්ථාවක සේවකයින් තුන් දෙනෙකු බඳවාගෙන රජයට පාඩුවක් සිදු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

'නුවරඑළියේ ඉන්න බව කීවත් හිටියේ හම්බන්තොට'

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා මාස දෙකක් තුළ මෙම සැකකරුට අවස්ථා හතරක් ලබා දී තිබුණ ද ඔහු ප්‍රකාශ ලබාදීමට අල්ලස් කොමිසම හමුවට නොපැමිණි බව සඳහන් කළා ය.

පසුගිය සෙනසුරාදා මෙම සැකකරුගේ නිවසට අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් ගිය අවස්ථාවේදී ඔහු නිවසේ නොසිටි අතර නුවරඑළිය ප්‍රදේශයේ සිටින බවට ප්‍රකාශ කළ ද, ඔහු සිට ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ බවත් විමර්ශන නිලධාරිනිය පැවසුවා ය.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවත්, මෙම සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බවත් සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරිනිය ඒ අනුව සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ඉල්ලා සිටියා ය.

'සැකකරුට නින්දේදී හුස්ම හිරවෙන රෝගී තත්ත්වයක්'

මෙහිදී සැකකාර රවී කරුණානායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක වීරසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු කිසිදු අවස්ථාවක සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කර නොමැති බව සඳහන් කළේ ය.

එමෙන් ම සැකකරු හෘද රෝගය මෙන් ම, නින්දේදී හුස්ම හිරවන ස්ලීප් ඇප්නියා (Sleep Apnea) නමැති රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බවත් ඒ සඳහා ඔහු ප්‍රතිකාර ලබා ගන්නා බවත් නීතිඥවරයා සඳහන් කළේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමට නියම කළ අතර පැමිණිල්ල නැවත නොවැම්බර් මස 03 වන දා කැඳවන ලෙස නියම කළේ ය.