ඉරානය සතුව බලගැන්වූ යුරේනියම් සංචිතයක් තිබුණත් එය න්‍යෂ්ටික අවියක් සෑදීමට තරම් ප්‍රමාණවත් ද?

A montage shows scientists at a nuclear facility working a massive mortar filled with very hot liquid and also many centrifuges

ඡායාරූප මූලාශ්‍රය, Getty Images/BBC

    • Author, ලුයිස් බරූචෝ
    • Role, බීබීසී ලෝක සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ඉරානය සතුව ඇති බලගැන්වූ යුරේනියම් සංචිතය කෙරෙහි යළිත් අවධානය යොමු වී ඇත්තේ, යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුමක කොටසක් ලෙස ඉරාන රජය එය භාර දීමට එකඟ වී ඇති බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමෙන් අනතුරුව ය.

එහෙත් සඳුදා, ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය සයීඩ් කතීබ්සාදේ මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේ, එය "සාකච්ඡාවට හෝ ලක් නොවන" අදහසක් බව AP පුවත් ඒජන්සිය වෙත පවසමිනි.

පාර්ශව දෙක ම ඉදිරි සාම සාකච්ඡා සඳහා අවතීර්ණ වීමට මගක් සොයමින් සිටින අතර යුරේනියම් එම සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාවක් බවට පත් වනු ඇතැයි පෙනෙන්නට තිබේ.

නමුත්, බලගැන්වූ යුරේනියම් යනු මොනවා ද? – සහ එය මෙතරම් වැදගත් වන්නේ ඇයි?

බලගැන්වූ යුරේනියම් යනු මොනවා ද?

යුරේනියම් යනු පෘථිවි පෘෂ්ටයෙන් ස්වභාවිකව ලැබෙන රසායනික මූලද්‍රව්‍යයකි.

එහි ප්‍රධාන වශයෙන් U-238 සහ U-235 ලෙස සමස්ථානික දෙකකින් සැකසී තිබේ.

ස්වභාවික යුරේනියම්වලින් 99%කට වඩා U-238 වන අතර, එයට න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාවක් පහසුවෙන් පවත්වාගෙන යාමේ හැකියාව නොමැත. න්‍යෂ්ටික විඛණ්ඩනය (nuclear fission) ලෙස හඳුන්වන ක්‍රියාවලියකදී ශක්තිය මුදාහරින සමස්ථානිකයක් වන U-235 ඇත්තේ 0.7%ක් පමණි.

යුරේනියම්වලින් නිසි ප්‍රොයෝජන ගැනීමට නම්, U-235 ප්‍රතිශතය "බලගැන්වීම" නම් ක්‍රියාවලියක් හරහා වැඩි කර ගත යුතු ය.

පළමුව, යුරේනියම් වායුවක් බවට පරිවර්තනය කරයි. පසුව එම වායුව කේන්ද්‍රාපසාරික යන්ත්‍රයක් (centrifuges) තුළට යැවීම සිදු කරයි. එය ඉතා අධික වේගයකින් භ්‍රමණය වන යන්ත්‍රයකි.

ඒවා භ්‍රමණය වන විට, බරින් වැඩි U-238 යම් ප්‍රමාණයක් පිටතට ඉවත් වන අතර, සැහැල්ලු U-235 එහි මධ්‍යයට සමීපව පවතී.

මෙය දුර්ලභ, ප්‍රයෝජනවත් U-235 යුරේනියම් සමස්ථානිකය වඩාත් සුලභ U-238 වෙතින් ක්‍රමයෙන් වෙන් කර ගැනීමට ඉඩ සලසයි.

මෙම වඩාත් සාන්ද්‍රිත යුරේනියම් කේන්ද්‍රාපසාරිකයේ එක් කෙළවරක් හරහා ඇද ගනු ලැබේ.

Graphic shows how a centrifuge works to separate the different isotopes of uranium

න්‍යෂ්ටික ප්‍රතික්‍රීයක යන්ත්‍ර සහ ආයුධවල භාවිත කරන යුරේනියම් අතර වෙනස කුමක් ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බලගන්වන මට්ටම අනුව යුරේනියම් භාවිතයට ගන්නා අවස්ථා වෙනස් වේ.

සාමාන්‍යයෙන් 3–5% අතර ප්‍රමාණයක් U-235 අඩංගු අඩුවෙන් බලගැන්වූ යුරේනියම්, වාණිජ න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථානවල ඉන්ධන ලෙස භාවිත කරයි. එය පාලිත දාම ප්‍රතික්‍රියාවක් පවත්වා ගැනීමට ප්‍රමාණවත් වුව ද, අවියක් සඳහා අවශ්‍ය මට්ටම්වලට වඩා බොහෝ පහළ ය.

20% හෝ ඊට වැඩි U-235 අඩංගු අධිබලගැන්වූ යුරේනියම්, පර්යේෂණ කටයුතු සඳහා න්‍යෂ්ටික ප්‍රතික්‍රීයක සඳහා භාවිත කළ හැකි අතර ආයුධ සඳහා සුදුසු යුරේනියම් සාමාන්‍යයෙන් 90%ක පමණ මට්ටමකට බලගන්වනු ඇත.

එම සාන්ද්‍රණයේදී, න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් ඉතා ඉක්මනින් පාලනයෙන් බැහැර වීමට ඇති ඉඩ ඉහළ ය. ඒවා ප්‍රමාණවත් පරිදි එකතු වූ විට පරමාණු ඉතා වේගයෙන් බෙදී යාම සිදුවන්නේ තත්පරයකින් කොටසකින් අතිවිශාල ශක්ති ප්‍රමාණයක් මුදා හරිමිනි.

යුරේනියම්වල සිවිල් සහ හමුදාමය භාවිතයන් අතර වෙනස ඇති කරන්නේ මෙමගිනි: ප්‍රතික්‍රීයක යන්ත්‍රයක් තුළදී යුරේනියම් බලගන්වන්නේ සුළු වශයෙන් පමණක් වන අතර එහිදී සිදුවන ප්‍රතික්‍රියාව හිතාමතා ම මන්දගාමී කර ප්‍රවේශම්සහගතව කළමනාකරණය කරයි. ඉන් මාස හෝ අවුරුදු ගණනක් පුරා ක්‍රමානුකූලව බලශක්තිය නිදහස් කිරීමට ඉඩ සලසයි. බෝම්බයකදී, අරමුණ ඊට ප්‍රතිවිරුද්ධ වේ: එහිදී ප්‍රතික්‍රියාවට නොනවත්වා සිදුවීමට ඉඩ ලබා දෙයි.

2015දී චීනය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඇතුළු බලවත් රාජ්‍යයන් 6ක් සමග එළැඹි ගිවිසුම යටතේ ඉරානය සඳහා 3.67%කට වඩා යුරේනියම් බලගැන්වීම වළක්වමින් සීමා පැනවිණි.

එම ගිවිසුම අනුව, ඉරානයට තබා ගත හැකි යුරේනියම් ප්‍රමාණය කිලෝග්‍රෑම් 300කට සීමා කෙරුණු අතර යුරේනියම් බලගැන්වීම සඳහා යොදා ගත හැකි කේන්ද්‍රාපසාරික ගණන ද සීමා කෙරිණි. එමෙන් ම සිය භූගත ෆෝඩෝ බලාගාරයේ එම කටයුතු සිදු කිරීම ද තහනම් කෙරිණි.

එහෙත් 2018 මැයි මාසයේදී එනම් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය අතරතුර ඇමෙරිකා එක්සත් ජනපදය මෙම ගිවිසුමෙන් ඉවත් විය.

Graphic shows how different concentrations of U-235 in uranium affect its potential use.

බලගැන්වීමේ මට්ටම වැදගත් ඇයි?

යුරේනියම් බලගැන්වීමේ මට්ටම ඉහළ යත් ම ඒවා න්‍යෂ්ටික අවියක් සඳහා යොදා ගැනීමට ඇති හැකියාව ද ඉහළ යයි.

බලගැන්වීමේ මට්ටම 20%ට ළඟා වීම වැදගත් සන්ධිස්ථානයක් වන්නේ අවියක් තැනීම සඳහා අවශ්‍ය යුරේනියම් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කරන බොහෝ තාක්ෂණික කටයුතු ඒ වන විටත් අවසන් වී ඇති බැවිනි.

ස්වභාවික යුරේනියම් 20%ක් දක්වා බලගැන්වීමට නැවත නැවතත් සිදු කරන වෙන්කිරීම් දහස් ගණනක් සහ ඉතා විශාල කාලයක් මෙන් ම ශක්තිය ද අවශ්‍ය වේ.

සංසන්දනාත්මකව ගත් කල, 20% සිට 90%ක් දක්වා ළඟා වීමට සඳහා අවශ්‍ය අතිරේක පියවර ගණන බොහෝ අඩු ය.

ඉන් අදහස් වන්නේ, අධිබලගැන්වූ යුරේනියම්, වඩා ඉක්මනින් අවියකට සුදුසු මට්ටමකට තවදුරටත් පිරිපහදු කළ හැකි බව ය.

ඉරානය සතුව යුරේනියම් කොපමණ තිබේ ද?

දැනට පැවැත්වෙන සාකච්ඡා කේන්ද්‍ර වී ඇත්තේ, ඉරානය සතුව ඇති බලගැන්වූ යුරේනියම් සංචිතය පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග වටා ය.

යුද්ධය ආරම්භ වූ අවස්ථාවේදී, ඉරානය සතුව 60%ක් දක්වා බලගැන්වූ යුරේනියම් කිලෝග්‍රෑම් 440ක් පමණ තිබූ බව, ඇමෙරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පවසති. මෙම ද්‍රව්‍ය සාපේක්ෂව ඉක්මනින්, අවියක් දක්වා සුදුසු 90% මට්ටමට වැඩි කළ හැකි වේ.

තව ද ඉරානය සතුව 20%ක් දක්වා බලගැන්වූ යුරේනියම් කිලෝග්‍රෑම් 1,000ක් පමණ සහ සාමාන්‍යයෙන් බලශක්ති නිෂ්පාදනය හෝ වෛද්‍ය පර්යේෂණ කටයුතු වැනි සිවිලි භාවිතයන් සඳහා 3.6%ක් දක්වා බලගැන්වූ යුරේනියම් කිලෝග්‍රෑම් 8,500ක් පමණ තිබේ.

න්‍යෂ්ටික අවියක් දක්වා පරිවර්තනය කළ හැකි අධිබලගැන්වූ යුරේනියම් බහුතරයක් ඉස්ෆහාන්හි ගබඩා කර ඇතැයි විශ්වාස කෙරේ. එම පහසුකම, පසුගිය වසරේ ඇමෙරිකා–ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවල ඉලක්ක වූ ඉරානයේ භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනෙන් එකකි.

Satellite images and a map show Iran's nuclear complex at Isfahan

ඡායාරූප මූලාශ්‍රය, Google maps/BBC

කෙසේ වෙතත්, මෙම අධිබලගැන්වූ යුරේනියම් වෙනත් ස්ථානවල කොපමණ ප්‍රමාණයක් ගබඩා කර ඇති ද යන්න පිළිබඳව තවමත් පැහැදිලි නැත.

මූලාශ්‍ර පවසන්නේ, යුරේනියම් බලගැන්වීම වසර 20කට නතර කරන ලෙස ඉල්ලීම ඉරානය ප්‍රතික්ෂේප කර ඇති බව ය. ඒ වෙනුවට, සටන් ආරම්භ වීමට පෙර ඔවුන් ඉදිරිපත් කර තිබූ වසර පහක් සඳහා විරාමයක් ඔවුන් යෝජනා කර ඇත.

එමෙන් ම, ඉරානය තමන් සතුව ඇති අධිබලගැන්වූ යුරේනියම් කිලෝග්‍රෑම් 440ක් භාර දීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ වෙනුවට ඔවුන් 60%ක් දක්වා බලගැන්වූ යුරේනියම්වල ශක්තිය අඩු කරන බවට කලින් එළැඹි එකඟතාව මත ම සිටින බව පැවසීය.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) ප්‍රධානී රෆායෙල් ග්‍රෝසි පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී AP පුවත් සේවය පැවසුවේ, මෙම ප්‍රමාණයෙන් තවදුරටත් බලගැන්වීමක් කළහොත් එය න්‍යෂ්ටික බෝම්බ 10කට ප්‍රමාණවත් වනු ඇති බව ය.

ඉරානය න්‍යෂ්ටික අවියක් සාදමින් සිටී ද?

ඉරානය තම න්‍යෂ්ටික පහසුකම් මුළුමනින් ම සාමකාමී බව අවධාරණය කරන අතර, න්‍යෂ්ටික අවියක් සැකසීමේ සක්‍රීය වැඩසටහනක් පිළිබඳ සාක්ෂි දැක නැතැයි IAEA පවසයි.

අවියක් සකස් කිරීමට තරම් සුදුසු මට්ටමේ යුරේනියම් නිෂ්පාදනය කිරීම න්‍යෂ්ටික අවියක් නිපදවන පියවරවලින් එකක් පමණි. සාර්ථක බෝම්බයක් නිර්මාණය කිරීම සඳහා එහි පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් කොටස (warhead) සැලසුම් කිරීම හා එකලස් කිරීම සහ එය මුදා හරින්නේ කෙසේ ද යන්න සංවර්ධනය කිරීම ඇතුළු තවත් සංකීර්ණ කාර්යයන් අවශ්‍ය වේ.

"2003 දක්වා, ඉරානයට මිසයිල ශීර්ෂය සැලසුම් කිරීමේ යම් ධාරිතාවක් තිබුණා, නමුත් ඒක ඒ කාලයේදී ම නවතා දැමුණු බව පෙනී ගියා," යැයි ස්වාධීන අවි පාලනය පිළිබඳ විශේෂඥ පැට්‍රිෂියා ලුවිස් පවසයි.

එහෙත්, ඇය තවදුරටත් කියා සිටියේ: "2015 න්‍යෂ්ටික ගිවිසුම බිඳ වැටීමෙන් පසුව සහ නව ගිවිසුමක් සඳහා සංවාද අඛණ්ඩව අසාර්ථක වීම හේතුවෙන්, ඉරානය නැවත මිසයිල ශීර්ෂයක් තැනීමේ හැකියාව නැවත වර්ධනය කිරීම ආරම්භ කිරීමට තීරණය කළා වෙන්න පුළුවන්."

ඇමෙරිකානු ආරක්ෂක බුද්ධි ඒජන්සිය 2025 මැයි මාසයේදී කළ අගැයීමකට අනුව, "බොහෝ විට සතියකටත් අඩු කාලයකදී" තනි උපකරණයකට ප්‍රමාණවත් අවියකට යොදා ගත හැකි මට්ටමේ යුරේනියම් නිෂ්පාදනය කිරීමට ඉරානයට හැකි වනු ඇත."

කෙසේ වෙතත්, ඉරානය තමන්ට න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නම්, එසේ කිරීමට ඉඩ සැලසෙන පියවර ගෙන ඇතත්, ඔවුන් මේ මොහොතේ "නිසැකයෙන් ම න්‍යෂ්ටික අවියක් නිපදවමින් නොසිටින බව" ද එහි සඳහන් විය.

න්‍යෂ්ටික අවියක් සඳහා අවශ්‍ය කොටස් සංවර්ධනය කිරීමේදී ඉරානය "නිශ්චිත ප්‍රගතියක්" ලබා ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව ඊශ්‍රායලය පැවසීය.

අතිරේක වාර්තාකරණය: නාඩියා සුලේමාන්, සංස්කරණය: මාර්ක් ෂියා