කස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ්: මානසික සහ මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට යොමු කරන්නැයි අධිකරණයෙන් නියෝග

කස්සප හිමි
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3
වීඩියෝ ශීර්ෂ වැකිය, රුවන්වැලි සෑය අභියස උණුසුම් තත්ත්වයක්: කස්සප හිමි ඇතුළු 8 දෙනෙක් පොලිස් භාරයට

අනුරාධපුර රුවන්වැලි සෑය අසල අධිකරණ නියෝග නොතකමින් මාරාන්තික උපවාසයක නිරතව සිටි කස්සප හිමි ඇතුළු 7 දෙනෙකු නොවැම්බර් 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසයි.

මෙම පිරිස අතර කස්සප හිමිට අමතරව තවත් භික්ෂූන් තිදෙනෙකු, කාන්තාවක සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් මානසික වෛද්‍ය පරීක්ෂණයකට සහ මත්ද්‍රව්‍ය භාවිත කර සිටියේ ද යන්න සොයාබැලීම සඳහා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත කළ කස්සප හිමියන් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති වරෙන්තුවට අනුව උන්වහන්සේ එම අධිකරණයට ඉදිරිපත් කොට එම අධිකරණයෙන් ලැබෙන නියෝගය පිළිබඳ වාර්තාව ද එළඹෙන 26 වන දා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

රාජාංගණයේ සද්ධාරතන හිමිගේ ඇතුළු පිරිසක් සමග ඇති වූ ගැටුමකින් අනතුරුව කස්සප හිමි ඇතුළු පිරිසක් ඊයේ (නොවැ:12) පොලිස් භාරයට ගෙන තිබිණි.

මේ අතර, රක්ෂිත බන්ධනාගාරගත කළ කස්සප හිමියන් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර ඇති වරෙන්තුවකට අනුව උන්වහන්සේ එම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

එම අධිකරණයෙන් ලැබෙන නියෝගය පිළිබඳ වාර්තාවක් ද ලබන 26 වන දා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත.

මේ අතර, අදාළ සිදුවීමෙන් පසු රෝහල්ගත කරන ලද රාජාංගණයේ සද්ධාරතන හිමියන් මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මෙම නොසන්සුන්තාව සහ ඊට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම් දෙකක් මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් තහවුරු කළේ ය.

අනුරාධපුර නොසන්සුන්තාව

අනුරාධපුර රුවන්වැලි සෑය අබියස පැවැත්වෙන මාරාන්තික උපවාසය සහ සත්‍යග්‍රහය සම්බන්ධයෙන් ඇති වූ උණුසුම් තත්ත්වයත් සමග එම ස්ථානයේ ඉදිකර තිබූ අට්ටාලය සම්පූර්ණයෙන් ම කඩා බිඳ දැමීමට එහි රැස්ව සිටි ප්‍රදේශ වාසීන් පිරිසක් කටයුතු කර තිබේ.

එම අවස්ථාවේදී අට්ටාලය තුළ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාව ආරක්ෂිතව රුවන්වැලි සෑය පුදබිම වෙත වැඩම කරවීමට ද ප්‍රදේශ වාසීන් පියවර ගෙන ඇත.

ගැටුමට හේතුව

යෝජිත අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම හකුළා ගන්නා ලෙස ඉල්ලමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් රුවන්වැලි මහා සෑය අබියස මාරාන්තික උපවාසයක් සහ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබිණි.

එම උපවාස භූමියට රාජාංගණයේ සද්ධාරතන හිමියන් ඇතුළු ගිහි පිරිසක් පැමිණීමත් සමග දෙපාර්ශ්වය අතර දැඩි බහින්බස් වීමක් හටගෙන ඇති අතර, එය ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබේ.

අනුරාධපුර නොසන්සුන්තාව

රෝහල්ගත කිරීම සහ විමර්ශන

අදාළ ගැටුම අතරතුර එල්ල වූ ප්‍රහාරයකින් තුවාල ලැබූ රාජාංගණයේ සද්ධාරතන හිමියන් මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මීට පෙර ද අදාළ සත්‍යග්‍රහ භූමියෙන් ඉවත් වන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබූ පසුබිමක මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබිණි.