ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂයේ' විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට පාගමනින් යාමේ සූදානමක්
- Author, ගීතා පාණ්ඩේ
- වාර්තාකරණය, Jantar Mantar, Delhi
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ ඉල්ලා 'කැරපොතු ජනතා පක්ෂය' (CJP) කළ කැඳවීමකට අනුව දහස් සංඛ්‍යාත සිසුන්, දෙමාපියන්, ක්‍රියාකාරීන් සහ දේශපාලන නායකයින් පිරිසක් ඉන්දීය පාර්ලිමේන්තුව දෙසට පාගමනක් ආරම්භ කිරීමට සූදානම්ව සිටිති.
දිල්ලි නුවර පිහිටි විරෝධතා භූමිය විරෝධතාකරුවන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර, පොලිස් සහ අර්ධ මිලිටරි බලකායන්හි සාමාජිකයින් සිය ගණනක් එහි යොදවා තිබේ.
කැරපොතු ජනතා පක්ෂයට (CJP) සහය දක්වමින් දින 21ක් පුරා උපවාසයේ නිරත වූ ක්‍රියාකාරිකයෙකු සහ අධ්‍යාපනඥයෙකු වන සෝනම් වන්චුක් පසුගිය සෙනසුරාදා බලහත්කාරයෙන් රෝහල්ගත කිරීමත් සමග එහි නොසන්සුන් තත්ත්වයක් හට ගත්තේ ය. ඔහු තවදුරටත් රෝහල්ගතව සිටිමින් උපවාසයේ නිරත වේ.
විරෝධතාකරුවන්ට මෙම පාගමන සඳහා අවසර නොමැති බව දිල්ලි පොලිසිය පවසා ඇති නමුත්, ඔවුන් කෙසේ හෝ ඉදිරියට ම යන බව "කැරපොතු ජනතා පක්ෂයේ" ප්‍රකාශකයෙක් බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කළේ ය.
අභිජිත් දිප්කේ විසින් ආරම්භ කරන ලද "කැරපොතු ජනතා පක්ෂය" (CJP), විභාගවල සිදුවන ප්‍රශ්න පත්‍ර නීතිවිරෝධීව පිට කිරීම් සහ අක්‍රමිකතාවලට එරෙහිව විරෝධය දැක්වීම සඳහා පසුගිය මැයි මාසයේදී ඉන්ටර්නෙට් ඔස්සේ උපහාසාත්මක ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ අතර, මේ වන විට ඊට විශාල අනුගාමිකයින් පිරිසක් එක්ව ඇත. මෙහි වගකීම භාරගෙන අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් වහා ම ඉල්ලා අස්විය යුතු බවට ඔවුහු දිගින් දිගට ම ඉල්ලා සිටිති.
අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් "කැරපොතු ජනතා පක්ෂය" (CJP) සහ එහි ආධාරකරුවන් "කඩාකප්පල්කාරී බලවේගවල බී-කණ්ඩායම" (B-team) ලෙස හඳුන්වමින් ප්‍රතික්ෂේප කර ඇත. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය මේ දක්වා විරෝධතාකරුවන් සමග කිසිදු සාකච්ඡාවකට එළඹ නොමැත.
සඳුදා උදෑසන, දිල්ලි නුවර පිහිටි වසර 300ක් පැරණි නිරීක්ෂණාගාරයක් වන "ජන්තර් මන්තර්" විරෝධතා භූමියේ පැවතියේ ඉතා උද්යෝගිමත් සහ ජවසම්පන්න වාතාවරණයකි. ඇදහැලුණු මහ වැස්සට ද එහි සිටි සියගණනක් විරෝධතාකරුවන්ගේ උද්‍යෝගය බිඳ දැමීමට නොහැකි වූ අතර, ඔවුන්ගෙන් බහුතරයක් අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්ට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා හඬ නගමින් සටන් පාඨ කියූහ.
විරෝධතාකරුවන් බොහෝ දෙනෙකු ජාතික ධජ රැගෙන පැමිණ සිටි අතර, තවත් පිරිසක් සාමයේ සංකේතයක් ලෙස ප්ලාස්ටික් රෝස මල් අතැතිව සිටියහ.
පොලිස් නිලධාරීන් සිය ගණනක් එහි යොදවා ඇති අතර එම ස්ථානයට දිවෙන සියලු ම මාර්ග වාහන ගමනාගමනය සඳහා වසා දමා ඇත. ප්‍රධාන වීදි ගණනාවක මාර්ග බාධක යොදමින් නගරය පුරා ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබේ.
එම ප්‍රදේශයට දිවෙන මාර්ගවල ගමන් ගන්නා වාහන පරීක්ෂා කිරීමටත්, රියැදුරන්ගෙන් සහ මගීන්ගෙන් ප්‍රශ්න කිරීමටත් පොලිස් නිලධාරීන් පියවර ගන්නා අයුරු දක්නට ලැබිණි.
සෝනම් වන්චුක් බලහත්කාරයෙන් රෝහල්ගත කිරීමෙන් පසු තමන් ද උපවාසයක නිරත වන බව ප්‍රකාශ කළ අභිජිත් දිප්කේ, එක් අතකින් ඉන්දීය ජාතික ධජය ද අනෙක් අතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද රැගෙන ජන්තර් මන්තර් වේදිකාව මත රැඳී සිටියේ ය. ඔහු එහි රැස්ව සිටි අතිවිශාල ජනකාය හැඳින්වූයේ "කැරපොතු ජනතා පක්ෂයේ (CJP) පළමු ජයග්‍රහණය" ලෙස ය.
සෝනම් වන්චුක්ට මෙම පාගමනට සම්බන්ධ විය හැකි වන පරිදි ඔහුව වහාම රෝහලෙන් මුදාහරින ලෙස අභිජිත් දිප්කේ ඉල්ලා ඇත. වන්චුක් ගේ බිරිඳ වන ගීතාංජලී අංමෝ ද මෙම පාගමනට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෑතකදී අධ්‍යාපන ක්‍රමය තුළ සිදු වූ අසාර්ථකත්වයන් සම්බන්ධයෙන් රජය වගකීම භාරගන්නේ නම්", තමා සහ කැරපොතු ජනතා පක්ෂයේ (CJP) නායකත්වය පාර්ලිමේන්තුවට පැමිණි විට මෙම ගැටලුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට මන්ත්‍රීවරුන් සහතික වන්නේ නම්, නැතහොත් මන්ත්‍රීවරුන් රෝහලට පැමිණ තමන් හමුවී එසේ සිදු කරන බවට සහතික වන්නේ නම් පමණක් තමන් උපවාසය අවසන් කරන බව වන්චුක් ප්‍රකාශ කර ඇත.
විරෝධතා අනෙකුත් නගරවල ද සංවිධානය කර ඇත. ඉරිදා දිනයේදී මුම්බායි නගරයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණු අතර සඳුදා දිනයේදී තවත් විරෝධතාවක් සැලසුම් කර තිබේ. මීට අමතරව බැංගලූරු සහ හයිද්‍රාබාද් යන නගරවල ද විරෝධතා පවත්වා ඇත.
දිල්ලි නුවර පවතින දැඩි ග්‍රීෂ්ම ඍතුව මධ්‍යයේ වන්චුක් දියත් කළ උපවාසය, ඔහුව බලහත්කාරයෙන් ඉවත් කිරීමටත් පෙර සිටම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබිණි. ඔහු ලුණු සහ ජලය පමණක් ආහාරයට ගෙන තිබූ අතර ඔහුගේ ශරීර බරෙන් කිලෝග්‍රෑම් 9 කට වඩා අඩු වී තිබිණි. ශාරීරික අපහසුතා මධ්‍යයේ වුවද, පාර්ලිමේන්තුව දෙසට පැවැත්වෙන පාගමනට සහභාගී වන බවට ඔහු ප්‍රතිඥා දී තිබිණි.
පොලිස් නිලධාරීන් දුසිම් ගණනක් පැමිණ තිරවලින් ඔහුව ආවරණය කර වේදිකාවෙන් ඉවත් කිරීමත් සමග සෙනසුරාදා පෙරවරු 07:30ට පමණ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.
ප්‍රශ්න පත්‍ර පිට කළ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් වැදගත් විභාග කිහිපයක් අවලංගු කිරීමට සිදුවීම, කැරපොතු ජනතා පක්ෂයේ (CJP) විරෝධතාවලට ප්‍රධානතම හේතුව වී තිබේ.
මැයි මස මුලදී, ප්‍රශ්න පත්‍රයක් කලින් පිට කිරීම වීම හේතුවෙන් ඉතා වැදගත් වෛද්‍ය ප්‍රවේශ විභාගයක් අවලංගු කරන ලද අතර, ඉන් එම විභාගයට පෙනී සිටි සිසුන් මිලියන 2.28කට ආසන්න පිරිසක් දැඩි පීඩාවට පත් වූහ. ඉන්පසු ජූනි 21 වන දා නැවත විභාගයක් පවත්වන ලද නමුත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අනුව මේ වන විට සිසුන් 20කට වැඩි පිරිසක් සියදිවි නසාගෙන මියගොස් ඇත.
"මෙතෙක් කල් අප ඉල්ලා සිටියේ ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීම වුවත්, මෙම නින්දිත ක්‍රියාවෙන් පසු අප දැන් නරේන්ද්‍ර මෝදිගේ ඉල්ලා අස්වීම ද ඉල්ලා සිටිනවා" යැයි සෙනසුරාදා වූ සිදුවීමෙන් පසුව දිප්කේ ප්‍රකාශ කළේ ය.