පිළිකාව පරදා මාතෘත්වය දිනූ අසිරිමත් කතාව: ශීත කළ ඩිම්බකෝෂ පටකයකින් උපන් බිළිඳා

ඡායාරූප මූලාශ්රය, Sara Matthews
- Author, රෙබෙකා තෝර්න්
- Role, ගෝලීය සෞඛ්ය වාර්තාකරු
- Author, සල්මා නූර්මොහොමඩ්
- Role, Newshour, බීබීසී ලෝක සේවය
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
කැසැන්ඩ්රා බේකන් වයස අවුරුදු 17 දී, කලාතුරකින් වැළඳෙන ලේ පිළිකා වර්ගයක් වන හොජ්කින් ලිම්ෆෝමා (Hodgkin lymphoma) රෝගයට ගොදුරු වූ බව හඳුනා ගන්නා ලදී. එහිදී ඇයට ලබා දුන් මූලික රසායනික චිකිත්සක (Chemotherapy) ප්රතිකාර මාලාව ඇගේ පිළිකාව පාලනය කිරීමට සමත් විය. නමුත් වසරකට පසු පිළිකාව නැවත මතු වූ අතර, මෙවර තත්ත්වය වඩාත් දරුණු විය. මේ නිසා ඇයට වහාම දැඩි රසායනික චිකිත්සක ප්රතිකාර ආරම්භ කිරීමට සිදු වන බව වෛද්යවරු බේකන්ට දැනුම් දුන්හ.
ඔබ රියදුරු පුහුණුව ලබමින් සහ ඒ අතරතුර උසස් පෙළ සඳහා සූදානම් වෙමින් සිටින වයසකදී, මෙවැනි දෙයකට මුහුණ දීමට කිසිවෙකුත් කැමති වන්නේ නැහැ. එය ඇත්තෙන්ම ඉතා දුෂ්කර කාලයක්," යැයි ඇය බීබීසී ලෝක සේවයේ 'නිව්ස්අවර්' වැඩසටහන සමඟ අදහස් දක්වමින් කියා සිටියා ය.
නව යොවුන් වියේ පසුවුව ද, බේකන් ඒ වනවිටත් ප්රතිකාරයේ දිගුකාලීන බලපෑම් සහ ඇගේ සරුභාවය ආරක්ෂා කර ගත හැකි ආකාරය ගැන සිතමින් සිටියා ය.
ඩිම්බ ශීතකරණය සඳහා අත්යවශ්ය වන ඇගේ මාසික ඔසප් චක්රය සිදුවන තෙක් බලා සිටීමට කාලයක් නොතිබූ බැවින්, බේකන් එකල පර්යේෂණ මට්ටමේ පැවති විකල්ප ප්රතිකාර ක්රමයක් කෙරෙහි යොමු වූවාය. එය ඩිම්බකෝෂ පටක බද්ධ කිරීමේ (Ovarian tissue transplant) ක්රියාවලියයි.
බේකන්ගේ ඩිම්බකෝෂවලින් ලබාගත් පටක කොටස් ශීත කර තබා දශක දෙකකට වඩා වැඩි කාලයකට, එනම් වසර 23කට පසු, ඒවා නැවතත් 44 හැවිරිදි වියේ පසු වූ ඇගේ සිරුරට බද්ධ කරන ලදී. ඒ අනුව, ඇය පසුගිය මාසයේදී 'ලැන්ඩන්' (Landon) නම් වූ ඇගේ පළමු දරුවා වන පිරිමි බිළිඳා මෙලොවට බිහි කළාය.
වසර 20කට වඩා වැඩි කාලයක් තිස්සේ ශීත කර සුරක්ෂිතව තබා තිබූ ඩිම්බකෝෂ පටක නැවත බද්ධ කිරීමෙන් මෙලොවට බිහි වූ පළමු දරුවා මොහු බවට විශ්වාස කෙරෙයි.

ඡායාරූප මූලාශ්රය, Kassandra Bacon
ඇගේ නව යොවුන් විය දෙස ආපසු හැරී බලමින් බේකන් පවසන්නේ තමාට සැමවිටම මවක් වීමේ දැඩි වුවමනාවක් තිබූ බවයි. තමාටම දාව උපදින දරුවෙකු ලැබීමට නොහැකි වීමේ අවදානමකට මුහුණ දීමට සිදු වූ විට, ඒ වෙනුවෙන් කෙසේ හෝ යමක් කිරීමට ඇය දැඩි ලෙස උත්සාහ කළාය.
"ඇයි කියලා මම දන්නෙ නැහැ, හැබැයි ඇත්තටම සිද්ධ වුණා වගේ දේවල් වෙනස් වෙලා මට සාමාන්ය විදිහට දරුවෙක් හදාගන්න බැරි වුණොත්, මට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කිසිම දෙයක් කරන්න නැහැ කියන එක ගැන මට සතුටු වෙන්න බැරි වුණා," ඇය පවසයි.
ඩිම්බ ශීතකරණය යනු ස්වභාවිකව දරුවන් පිළිසිඳ ගැනීමට නොහැකි කාන්තාවන් සඳහා බහුලවම භාවිත වන ප්රතිකාර ක්රමයකි. නමුත් ඩිම්බ ශරීරයෙන් ඉවතට ගැනීමට පෙර සති කිහිපයක් තිස්සේ හෝර්මෝන එන්නත් ලබා දීම මෙම ක්රියාවලියේදී අත්යවශ්ය වේ. බේකන්ට වෛද්යවරුන් ප්රකාශ කර තිබුණේ එලෙස බලා සිටීමට තරම් සති කිහිපයක කාලයක් ඇයට නොමැති බවයි.
පිළිකා ප්රතිකාර ආරම්භ කිරීමට පෙර තම ඩිම්බකෝෂ පටකවලින් කොටසක් ඉවත් කර ගත යුතු බවට වෛද්යවරුන්ව එකඟ කරවා ගැනීමෙන් පසු, බේකන්ට වෛද්ය සාරා මැතිව්ස් මුණගැසුණි. ඇය එක්සත් රාජධානිය තුළ මෙම විශේෂිත සැත්කම කළ හැකි සීමිත ශල්ය වෛද්යවරුන් කිහිපදෙනාගෙන් කෙනෙකි.
වෛද්ය මැතිව්ස් විසින් බේකන්ගේ ඩිම්බකෝෂවලින් පටක කොටස් හතරක් ලබා ගත්තද, කවදා හෝ දිනක ඒවායින් දරුවෙකු බිහි කළ හැකි වනු ඇතැයි යන සහතිකය එකල තිබුණේ නොමැත.
'එක ම බලාපොරොත්තුව'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඇටමිදුළු බද්ධ කිරීමක් සහ කීමෝතෙරපි ප්රතිකාර ඇතුළත් වූ බේකන්ගේ ජීවිතය රැකදුන් එම ප්රතිකාර මාලාව සාර්ථක වූ අතර, ඇය නැවත වරක් පිළිකාවෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබුවාය. නමුත් වෛද්යවරුන් සැක කළ පරිදිම, එම දැඩි ප්රතිකාර නිසා ඇගේ ඩිම්බකෝෂවලට බරපතල හානි සිදු වී තිබූ අතර, වයස අවුරුදු 33 දී බේකන් අකාලයේ ඔසප් වීම නැවතීමේ තත්ත්වයට පත් වූවාය.
ඒ වන විට දරුවන් ලැබීමට සූදානමින් සිටි ඇය, තමා සතුව තිබූ ශීත කළ නිරෝගී පටක කොටස් නැවත ඇගේ සිරුරට බද්ධ කළ හැකි වෛද්යවරයෙකු සොයා ගැනීම සඳහා දශකයක් පුරා දිවගිය අරගලයක් ආරම්භ කළාය.
බේකන්ගේ ඩිම්බකෝෂ පටක ඉවත් කිරීමේ සැත්කම සිදු කෙරුණේ ඒ පිළිබඳව එක්සත් රාජධානියේ නීති සම්පාදනය වීමට පෙර ය. එබැවින්, වසර 20කට පසු ඩිම්බකෝෂ පටක බද්ධ කිරීමක් සිදු කිරීම සඳහා වර්තමානයේ අත්යවශ්ය වන කිසිදු ලේඛනයක් ඇය සතුව නොතිබිණි.
මෙම ක්රියාවලිය පුරාම මැතිව්ස් ඇය සමඟ රැඳී සිටි අතර, අවසානයේදී එය සිදු කිරීමට කැමති ඊශ්රායලයේ පිහිටි සායනයක් සොයා ගැනීමට ඇයට උදව් කළා ය.
එම පටකය රාමත් ගාන් නගරයේ පිහිටි ෂෙබා වෛද්ය මධ්යස්ථානය වෙත මාරු කෙරුණු නමුත්, 2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සටන්කාමීන් ඊශ්රායලයට එල්ල කළ ප්රහාරයත් සමග ගාසා තීරයේ දැවැන්ත ඊශ්රායල හමුදා මෙහෙයුමක් ආරම්භ වීම හේතුවෙන් බේකන් දැඩි ලෙස අපේක්ෂා කළ එම වෛද්ය ක්රියා පටිපාටිය ප්රමාද විය.
"මම හිතුවා, 'මගේ එක ම බලාපොරොත්තුව විනාශ වෙනව ද?' කියලා," ඇය බීබීසී ලෝක සේවයට පැවසුවාය.
2024 වසරේ මැයි මාසයේදී ඇති වූ තාවකාලික සටන් විරාමයක් හේතුවෙන් බේකන්ට එහි සංචාරය කර මෙම වෛද්ය ප්රතිකාරය ආරක්ෂිතව සිදු කර ගැනීමට අවස්ථාව ලැබුණි. ඇය ප්රතිකාර අවසන් කර නැවත එක්සත් රාජධානිය බලා පැමිණීම සඳහා ගුවන් යානයට ගොඩ වී පැය කිහිපයක් ඇතුළත, එම සටන් විරාමය අවසන් කර නැවතත් ප්රහාර ආරම්භ විය.
"මේ වගේ කතාවක් හිතලා ලියන්නවත් බැහැ," යැයි ඇය පවසයි.
ඩිම්බකෝෂ පටක බද්ධ කිරීමක් සිදුකරන්නේ කෙසේ ද?
ශල්ය වෛද්යවරයෙක් ඩිම්බ නිපදවන පටක කොටස් ඩිම්බ කෝෂවලින් ඉවත් කරයි. රෝගියා දරුවන් ලැබීමට සූදානම් වන තෙක් මේවා රසායනාගාරයක ගබඩා කර ශීත කරනු ලබයි.
මෙම පටක නැවත පුද්ගලයෙකුගේ සිරුරට බද්ධ කිරීම සම බද්ධ කිරීමේ සැත්කමකට සමාන වේ. එහිදී ශීතකරණයෙන් ඉවතට ගෙන සාමාන්ය තත්ත්වයට පත් කරන ලද පටක කොටස්, ශරීරයේ ඉතිරිව ඇති ඩිම්බකෝෂ මත හෝ ඒ අසලින් තැබූ විට, ඒවා අවට ඇති රුධිර වාහිනී සමඟ නැවත සම්බන්ධ විය යුතුය. ඉන්පසු එම ඩිම්බකෝෂ මඟින් සාමාන්ය පරිදි සෑම මාසයකම ඩිම්බයක් මුදා හැරීම ආරම්භ වේ.
2024 වසරේ සිදු කළ අධ්යයනයකින් හෙළි වූයේ, මෙම ක්රියාපටිපාටියට භාජනය වූ කාන්තාවන්ගෙන් 94%ක් දක්වා ප්රමාණයකගේ ප්රජනන චක්රය නැවත ක්රියාත්මක වූ බව යි. 2022 වසරේ පළ වූ වෙනත් අධ්යයනයකින් අනාවරණය වූයේ, ඩිම්බකෝෂ පටක බද්ධ කිරීම්වලින් 28%කට පමණ ජීවමාන දරුවෙකු බිහි කිරීමට හැකි වූ බව යි.
2016 වසරේදී, ඩුබායි හි පදිංචි 24 හැවිරිදි මොආසා අල් මැටෘෂි, වැඩිවියට පත්වීමට පෙර ඩිම්බ කෝෂයක් ශීතකර තැන්පත් කර තැබීමෙන් අනතුරුව දරුවෙකු බිහි කළ ලොව පළමු පුද්ගලයා ලෙස සැලකෙයි.
ගෝලීය වශයෙන්, ඩිම්බකෝෂ පටක බද්ධ කිරීමෙන් පසු ළදරුවන් 200කට වඩා උපත ලබා ඇති බවට ඇස්තමේන්තු කර ඇත.
'මම මට ම ස්තූති කරන්න ඕනේ'

ඡායාරූප මූලාශ්රය, Kassandra Bacon
2024 වසරේ සිදු කළ බද්ධ කිරීමෙන් මාස කිහිපයකට පසු, බේකන්ගේ ඔසප් චක්රය නැවත ආරම්භ විය. ස්වභාවිකව දරුවෙකු පිළිසිඳ ගැනීමට උත්සහ කිරීමෙන් අනතුරුව IVF (නළ දරු උපත් තාක්ෂණය) වෙත යොමුවන ලෙස වෛද්යවරු ඇයට සහ ඇගේ සහකරුට උපදෙස් දුන්හ.
මෙම යුවළ තෙවරක්ම ප්රතිකාර වටයන් සඳහා මුහුණ දුන් අතර, අවසානයේදී 2025 වසරේ නත්තල් දිනයේදී, බේකන් තමා ගැබ්ගෙන ඇති බව තහවුරු කළ ගර්භණී පරීක්ෂණ වාර්තාව ඇගේ අතට ගත්තාය.
''මගේ අතිශයින්ම සරු අවුරුදු 19ක ශරීරය වයස අවුරුදු 43දී මට නැවත ජීවය රැගෙන ආවා,'' ඇය පවසයි.
බේකන්ගේ පුත් ලැන්ඩන් මෙලොවට බිහි වූයේ මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී වන අතර, ඒ වන විට ඔහුගේ මව වසර 25ක් තිස්සේ පිළිකා රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලබා සිටියාය.

ඡායාරූප මූලාශ්රය, Sara Matthews
තම ජීවිත කතාව ප්රසිද්ධියට පත් කිරීමෙන් පසු, එයින් මහත් දිරියක් සහ ආදර්ශයක් ලැබූ කාන්තාවන් විශාල පිරිසකගෙන් තමා වෙත පණිවිඩ ලැබුණු බව බේකන් පවසන්නීය.
ළමා වියේදී වැළඳෙන පිළිකාවලින් සම්පූර්ණයෙන්ම සුවය ලැබීමේ ප්රවණතාව මේ වන විට බෙහෙවින් ඉහළ ගොස් ඇති බැවින්, තරුණ පිළිකා රෝගීන්ගේ ප්රජනන හැකියාවන් සුරැකීමේ විකල්ප පිළිබඳ සාකච්ඡාවලට වර්තමානයේදී වඩා වැඩි ප්රමුඛතාවක් ලැබෙන බව වෛද්ය මැතිව්ස් පවසන්නීය.
"මෙම දරුවන් වැඩිහිටි වියට එළැඹ සාමාන්ය වැඩිහිටි ජීවිතයක් ගත කිරීමට අපට අවශ්ය වෙනවා, පවුලක් ගොඩනගා ගැනීමට ඇති හැකියාව ඒකට බෙහෙවින් වැදගත්," යැයි ඇය පවසයි.
ඇගේ කතාව අසන අනෙක් අය මෙන්ම, ඉතා කුඩා වයසේදී ඇය පෙන්නුම් කළ නොපසුබට උත්සාහය ගැන බේකන් ද මවිතයට පත්වේ.
"මම තවමත් උත්සහ කරනවා මගේ වයස අවුරුදු 18 දී තිබුණු තත්ත්වයට යන්න සහ 'මම කොහොමද මේ තරම් නොපසුබට වුණේ කියලා හිතන්න. මම හිතන්නේ ඒ දෙය, ආපසු හැරී බලා මට ම ස්තූතිවන්ත විය යුතු දෙයක් කියලයි."



































