22 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙක් ජපානයේ 'පොලිස් අත්අඩංගුවේ සිටියදී' මරුට: 'මගේ අයියව නොමරා මැරුවා' - නැගණිය කියයි

ඡායාරූප මූලාශ්‍රය, Facebook / විචක්ෂණ සුපසන්
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
ජපානයේ, ඉබරාකි ප්‍රාන්තයේ, ට්සුචියුරා නගරයේ "පොලිස් අත්අඩංගුවේ සිටි" 22 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු රැඳවුම් කුටියක් තුළදී මියගොස් ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා කරයි.
එරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික විකාශකයෙකු වන TBS සඳහන් කළේ, මැයි 19 වන දා මෙම තරුණයා මියගොස් ඇති බවට එම පොලිස් ස්ථානය නිවේදනය කළ බව ය.
එදින "දහවල් මුර සංචාරයේ යෙදෙමින් සිටි ආරක්ෂකයෙකුට" නිදා සිටි මෙම තරුණයා "ගොරවන ශබ්දය නතර වී ඇති බවට" නිරීක්ෂණය වී තිබේ.
ඔහු "හුස්ම ගන්නා බවක් නොපෙනී ඇති අතර ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ආරක්ෂකයා විසින් ඔහුට හුස්ම ගැනීම පහසු වීමට අවශ්‍ය පියවර ගෙන 119 අමතනු ලැබ" ඇතැයි TBS වාර්තා කළේ ය.
අනතුරුව ඔහු රෝහල්ගත කර ඇති අතර පසුව ඔහු මිය ගොස් ඇති බව රෝහල් බලධාරීන් විසින් තහවුරු කරනු ලැබ තිබේ.
"බාහිර තුවාල කිසිවක් පෙනෙන්නට නොතිබී ඇති අතර, සියදිවි නසා ගැනීමක් බවට සැකයක් නොමැති බැවින්", මරණයට හේතුව තීරණය කිරීම සඳහා මරණ පරීක්ෂණයක් පැවැත්වීමට පොලිසිය සැලසුම් කරන බව ට්සුචියුරා පොලිස් ස්ථානය උපුටා දක්වමින් TBS වැඩිදුරටත් වාර්තා කළේ ය.
"ශ්‍රී ලාංකිකයෙකු වන හේවාමානගේ විචක්ෂණ සුපසන්" නමැති තරුණයාගේ "අභාවය සම්බන්ධයෙන් ට්සුචියුරා පොලිසිය ස්ථානය විසින්" තමන් වෙත දැනුම් දෙන ලද" බව මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ විමසීමකදී ටෝකියෝවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලිඛිතව ප්‍රතිචාර දක්වමින් පැවසීය.
තානාපති කාර්යාලයට ලැබුණු තොරතුරුවලට අනුව, මරණය සිදුවී ඇත්තේ, 2026 මැයි 19 වන දින ජපානයේ ට්සුචියුරා කියෝඩෝ රෝහලේදී ය.
"තානාපති කාර්යාලය දැනට අදාළ ජපන් බලධාරීන් සමග සන්නිවේදනය කරමින් සිටින අතර මෙම කාරණයට සම්බන්ධ වැඩිදුර තොරතුරු සහ නිල ලියකියවිලි ඉල්ලා ඇත," යනුවෙන් එහි තවදුරටත් සඳහන් විය.
මිය ගිය තරුණයා කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Facebook / CJ Charith Abesinghe
දේශීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන පරිදි මිය ගිය හේවාමානගේ විචක්ෂණ සුපසන් නමැති තරුණයා බෙලිඅත්ත, මහහීල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු 2023 වසරේදී කාර්මික පාඨමාලාවක් හැදෑරීම සඳහා ජපානය වෙත ගොස් තිබේ. අනතුරුව 2024 වසරේ ඔහුගේ නැගණිය වන සත්‍යානි ශාක්‍යා ද ජපානය වෙත ගොස් තිබුණ ද ඔවුන් ජීවත්ව තිබුණේ වෙන්ව ය.
බීබීසීයට මෙම තොරතුරු ස්වාධීනව තහවුරු කර ගැනීමට මේ දක්වා නොහැකි වී ඇති අතර ඊට අදාළ විමසීම් අදාළ පාර්ශව වෙත යොමු කර තිබේ.
අත්අඩංගුවට ගත් සිදුවීම කුමක් ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
අදාළ තරුණයා ට්සුචියුරා පොලිස් නිලධාරීන් මගින් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීමට හේතුව කුමක් ද යන්න පිළිබඳව බීබීසී සිංහල ටෝකියෝවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විමසීය.
"මියගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා තබා ගැනීමට හේතු තානාපති කාර්යාලයට නිල වශයෙන් දැනුම් දී නොමැත," එය පැවසීය.
ඔවුන් තවදුරටත් පැවසුවේ, "රඳවා තබා ගන්නා අවස්ථාවේදී එම පුද්ගලයා ඒ බව තානාපති කාර්යාලයට දැනුම් දීම සඳහා කැමැත්ත ලබා දී නොමැති බවට වාර්තා වන" අතර "ඔහුගේ මරණය ගැන දැනුම් දීමට පෙර ඔහු රඳවා තබා ගැනීම පිළිබඳව අදාළ බලධාරීන් තමන් වෙත දැනුම් නොදුන්" බව ය.
කෙසේ වෙතත්, මෙරට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ, පෙබරවාරි 22 වන දින විචක්ෂණ තවත් "මිතුරන් කිහිප දෙනෙකු සමග ට්සුචියුරා නරගයේ වෙළෙඳසලක් වෙත ගොස් ඇති බවත් එහි භාණ්ඩ සොරා ගත් බවට ඔහු තව තවත් තරුණියකට අදාළ වෙළෙඳසලේ හිමිකරු විසින් චෝදනා කරනු ලැබ තිබූ" බවත් ය.
එම චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන තිබුණු බව එම වාර්තාවල සඳහන් විය.
මෙම කරුණු පිළිබඳව බීබීසීයට මේ දක්වා ස්වාධීනව තහවුරු කර ගැනීමට නොහැකි වූ අතර ඊට අදාළ විමසීම් අදාළ පාර්ශව වෙත යොමු කර තිබේ.
'මගේ අයියව නොමරා මැරුවා'
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post
මිය ගිය හේවාමානගේ විචක්ෂණ සුපසන්ගේ සහෝදරිය වන සත්‍යානි ශාක්‍යා තම සහෝදරයාගේ මරණය පිළිබඳව මැයි 22 වන දින සංවේදී ප්‍රකාශයක් කරමින් ෆේස්බුක්හි වීඩියෝවක් පළ කර තිබුණේ සටහනක් ද තබමිනි.
"අනේ මේ වෙලාවේ උදව් කරන්න පුළුවන් හැමෝම උදව් කරන්නකෝ මට... මගේ අයියව නොමරා මැරුවා මේ ට්සුචියුරා පොලිසියේ මිනිස්සු. තාමත් කිසි ම සාධාරණයක් මගේ අයියා වෙනුවෙන් වුණේ නෑ," එම සටහනේ සඳහන් විය.
ඇය පවසන්නේ තම සහෝදරයාගේ මරණය සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් හෝ ඒ දක්වා ලැබී නොතිබුණු බවත් ඔහුගේ මරණය "සැකසහිත" බවත් ය.
"මගේ අයියා නැති වුණේ 19 වන දා. මට ඒ කෝල් එක ආවේ උදේ. මගේ අයියා නැති වෙලා තියෙන්නේ පොලිසිය ඇතුළේ.

ඡායාරූප මූලාශ්‍රය, Facebook / විචක්ෂණ සුපසන්
"මගේ අයියා මාස දෙකක් තිස්සේ ප්‍රතිකාර කරන්න කියලා ඉල්ලා වැඳ වැටුණා. මේ මිනිස්සු මගේ අයියාට ප්‍රතිකාර කළේ නැහැ. මගේ අයියාව මරා ගත්තා," ඇය පැවසුවා ය.
"මම මගේ අයියාව බලන්න ගියා 19 වෙනි දා. මගේ අයියා මැරිලා වැටිලා හිටියා ඇඳ උඩ. එයාගේ මූණ හොඳට ම හීතල වෙලා. මුළු ඇඟ ම හීතල වෙලා.
"එයාගේ දිව කහ පාට වෙලා. මගේ අයියාගේ තොල් – කට නරක වෙන්න ඇවිල්ලා තිබ්බා. ඒ මිනිස්සු කිසි ම ප්‍රතිකාරයක් කරලා තිබ්බේ නැහැ," ට්සුචියුරා පොලිස් ස්ථානය තුළ ලද අමිහිරි අත්දැකීම ඇය විස්තර කළා ය.
ශාක්‍යා තවදුරටත් පැවසුවේ, තම සහෝදරයාගේ මරණය සැකසහිත බවට පැමිණිලි කිරීමට අවශ්‍ය වුවත්, පොලිස් නිලධාරීන් එය සටහන් කර නොගත් බව ය.
"මම ඊයෙත් [මැයි 21] ආවා. ඊයේ හවස දෙකට ආවේ. හවස දෙකේ ඉඳන් හවස 5.30 වෙනකම් මාව රස්තියාදු කෙරුවා.
"ඊට පස්සේ අද උදේ [මැයි 22] එන්න කිව්වා. අද උදේ ආවට පස්සේ, ඒ මිනිස්සු ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ගෙනල්ලා තියෙන්නේ ජපන් මනුස්සයෙක්. ඒ මනුස්සයා දන්නේ නැහැ සිංහල වචන," ඇය පැවසුවා ය.
"මං කිව්වා මට වෙන ට්‍රාන්ස්ලේටර් කෙනෙක් හරි ඕනේ කියලා. ඒ මිනිස්සු කිව්වා එහෙනම් ලබන සඳුදා [මැයි 25] එන්න කියලා.
"එයා හිටියේ පොලිසියේ භාරයේ නේ ද? ඉතින් පොලිසිය එයාව නොසලකා හැරිය ද?," ඇය ප්‍රශ්න කළා ය.
තානාපති කාර්යාලයේ ප්‍රතිචාරය කුමක් ද?
ඇයගේ මෙම ප්‍රකාශයේ සඳහන් වූ චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල තානාපති කාර්යාලයෙන් විමසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් ඔවුන් සඳහන් කළේ, "ප්‍රශ්නගත මරණය වටා ඇති තත්ත්වයන් සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන් මතු කරන කාරණා ගැන" තම කාර්යාලය දැනුවත් බව ය.
"මෙම කාරණය දැනට අදාළ ජපාන බලධාරීන් යටතේ විමර්ශනයට ලක්වෙමින් පවතින බව ද" එහි තවදුරටත් සඳහන් විය.
තානාපති කාර්යාලය පැවසුවේ, "මෙම වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර, අදාළ සියලු කරුණු සුදුසු නිල මාර්ග හරහා නිසි ලෙස තහවුරු කර ගැනීම සහතික කිරීම සඳහා සිය සහයෝගය අඛණ්ඩව ලබා දෙන," බව ය.
මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව ද බීබීසී සිංහල තානාපති කාර්යාලයෙන් විමසීය.
"තානාපති කාර්යාලය, නිල රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඇතුළුව අදාළ ජපන් බලධාරීන් සමග සම්බන්ධ වී ඇති අතර, හදිසි කාරණයක් ලෙස සලකා මේ සම්බන්ධයෙන් සමීපව පසු විපරම් කරමින් සිටී," එය පැවසීය.
"තව ද තානාපති කාර්යාලය විසින් පවුලට අවශ්‍ය කොන්සියුලර් සහය ලබා දෙන අතර, සුදුසු අවස්ථාවලදී අදාළ බලධාරීන් සමග සන්නිවේදනය සඳහා පහසුකම් සපයයි.
"එමෙන් ම, ශ්‍රී ලංකාවේ සිටින [මිය ගිය පාර්ශවයේ] ළඟ ම ඥාතීන් සමග සන්නිවේදනය කිරීම සඳහා තානාපති කාර්යාලය කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණ කටයුතු සිදු කරන" බව ද තානාපති කාර්යාලයේ ප්‍රතිචාරයේ සඳහන් විය.
දේහය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ගෙන ඇති පියවර මොනවා ද?
මිය ගිය හේවාමානගේ විචක්ෂණ සුපසන්ගේ දේහය නැවත මෙරට ගෙන්වා ගැනීමට ඔහුගේ ළඟ ම ඥාතීන් විසින් ලබා දෙනු ලබන "විධිමත් අවසරය" මත අවශ්‍ය කටයුතු සලසා දෙන බව තානාපති කාර්යාලය පැවසීය.
ඒ අනුව, තානාපති කාර්යාලය අදාළ ජපන් බලධාරීන් සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය සමග එක්ව මරණය ලියාපදිංචි කිරීමට අවශ්‍ය නිල ලේඛන සකස් කිරීමට සහ දේහය ශ්‍රී ලංකාවට යැවීමට අවශ්‍ය ජපන් ලේඛන නීත්‍යනුකූලව සහතික කිරීමට සහය වනු ඇත.
දේහය නැවත මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සිදුවන්නේ, ජපානයේ අදාළ නෛතික සහ පරිපාලන ක්‍රියා පටිපාටි සම්පූර්ණ කිරීමෙන් පසුව බව තානාපති කාර්යාලය පැවසීය.
ඊට ජපන් බලධාරීන්ගෙන් අවශ්‍ය ලියකියවිලි ලබා ගැනීම සහ පවුලේ අවශ්‍යතා සහ සම්බන්ධීකරණය අනුව ජපන් සහ ශ්‍රී ලාංකික නිලධාරීන් සමග එක්ව ප්‍රවාහන සහ අනෙකුත් කටයුතු සංවිධානය කිරීම ඇතුළත් වේ.
මීට පෙර ජපානයේදී සිදු වූ මරණය
මීට පෙර ද මේ හා සමාන සිදුවීමක් ජපානයෙන් වාර්තා විය.
ශ්‍රී ලාංකික තරුණියක 2021 වසරේදී මියගොස් තිබුණේ, නගෝයා නගරයේ පිහිටි සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයකදී ය.
ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි රත්නායක ලියනගේ විශ්මා සඳමාලි නමැති එම තරුණිය 2017 වසරේදී ශිෂ්‍ය වීසා මත ජපානයට ගොස් තිබුණු අතර වීසා කල් ඉකුත් වී තිබියදීත් එරට තුළ රැඳී සිටීම හේතුවෙන් 2020 වසරේ අගෝස්තු මස ඇය එරට ආගමන විගමන නිලධාරීන් භාරයට ගෙන රඳවා තබා ගෙන තිබිණි.
මාස 7ක පමණ කාලයක් ඇය අදාළ මධ්‍යස්ථානයේ රඳවා තබා තිබුණු අතර ඇයගේ මරණය ශ්‍රී ලංකාවේ මෙන් ම විදෙස් මාධ්‍යවලට දැඩි ලෙස අවධානය ලක් වූ සිදුවීමක් විය.
නගෝයා නගරයේ ඇති ප්‍රාදේශීය ආගමන සේවා කාර්යාංශයේ සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක රඳවා සිටියදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් 2021 වසරේ මාර්තු 6 වන සෙනසුරාදා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඇය ජීවිතක්ෂයට පත්වූ බව එවකට ජපාන මාධ්‍ය වාර්තා කර තිබිණි.
රැඳවුම් භාරයේ සිටියදී ආතතිය මත ඇති වූ උදරාබාධ තත්ත්වයක් හේතුවෙන් ඇගේ බර කිලෝග්‍රෑම් 20කින් පමණ අඩු විය. ඇගේ තත්ත්වය සොයා බැලූ මානව හිමිකම් ක්‍රියාකාරීන් පැවසූ පරිදි, දැඩි ආතතිය හේතුවෙන් ඇගේ සෞඛ්‍ය තත්ත්වය දිගින් දිගට ම නරක අතට හැරෙමින් පැවතිණි. අවසන් දින කිහිපයේදී ඇය ලේ වමනය කරමින් සිටියා ය.
තමා රෝහලක් වෙත රැගෙන යන ලෙසත් තාවකාලිකව මුදා හරින ලෙසත් ඇය දිගින් දිගට ම ඉල්ලා සිටිය ද, එම ඉල්ලීම් ප්‍රතික්ෂේප විය.
2021 වසරේ අගෝස්තු මාසයේදී ජපානයේ ආගමන සේවා ඒජන්සිය විසින් කරන ලද විමර්ශන වාර්තාවකින් නිගමනය කෙරුණේ, රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය මානව හිමිකම් පිළිබඳව අඩු අවධානයක් යොමු කර ඇති අතර ඇගේ රෝගී තත්ත්වය පිළිබඳ තොරතුරු දැනුම් දීමට අපොහොසත් වී ඇති බව ය.
තාවකාලිකව රැඳවුම් භාරයෙන් නිදහස් වීම සඳහා රැඳවියන් ව්‍යාජ රෝගී තත්ත්වයන් පෙන්වන බවට ඇතැම් රැඳවුම් නිලධාරීන් උපකල්පනය කර ඇති බව එහි වැඩිදුරට ත් සඳහන් විය.
ඒ අනුව, විශ්මාට නිසි ආහාර සහ සෞඛ්‍ය පහසුකම් ලබා දීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින්, ඇයගේ සොයුරියන් වන 28 හැවිරිදි වයෝමි සහ පූර්ණිමා ප්‍රමුඛ රත්නායක පවුල ජපාන රජයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළහ.

































