'වගා ආයෝජන' වැනි වංචාවලට හසු නොවී ආරක්ෂාකාරීව මුදල් තැන්පත් කිරීමට ඔබ දැනගත යුතු දේ

ඡායාරූප මූලාශ්රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
වැඩි පොළියක් හෝ වැඩි ලාභයක් ලබා ගැනීමේ අරමුණින් වංචනිකයන්ට හසු වී තමන් වෙහෙස මහන්සියෙන් උපයා ගත් ධනය අහිමි කර ගත් බොහෝ ලාංකිකයින් පිළිබඳව නිතර අසන්නට ලැබේ.
ඔවුන් බොහෝවිට නීතියට පිටින් පිහිටුවාගත් මූල්ය ආයතනවල හෝ පිරමීඩාකාර ආයෝජනවලට තම මුදල් යෙදවීම නිසා එලෙස තම මුදල් අහිමි කරගෙන තිබේ.
මෑත කාලීනව ද එසේ නීති විරෝධි ලෙස ජනතාවගෙන් තැන්පතු ලබා ගත් බව කියන සමාගම් කිහිපයක ගිණුම් අත්හිටුවීමට ශ්රී ලංකා මහ බැංකුව පියවර ගත් අතර, ඒවා සම්බන්ධව විමර්ශන සිදු කරන අතරතුර නීතිමය පියවර ද ගෙන ඇත.
මෙරට බලපත්රලාභී වාණිජ බැංකු, මූල්ය ආයතන වැනි දෑ නියාමනය කිරීමට ශ්රී ලංකා මහ බැංකුවට බලතල පවතින අතර එවැනි ලියාපදිංචි ආයතනවල තැන්පත් කරනු ලබන රුපියල් ලක්ෂ 11ක් දක්වා වන මුදල් සඳහා ශ්රී ලංකා මහ බැංකුව විසින් වගකියනු ලැබේ.
මේ නිසා ජනතාව මුදල් තැන්පත් කිරීම් සහ ආයෝජනය සඳහා වගකීම්සහගත සහ නීත්යනුකූල මූල්ය ආයතනයක් තෝරා ගන්නා ආකාරය සම්බන්ධයෙන් බීබීසී සිංහල ශ්රී ලංකා මහ බැංකුවෙන් විමසීමක් කළ අතර, ඊට ලැබුණු ලිඛිත පිළිතුරු අනුව මෙම ලිපිය සකස් කර තිබේ.
ශ්රී ලංකාව තුළ ජනතාවගෙන් තැන්පතු ලබා ගත හැක්කේ කාට ද?
මෙරට ජනතාවට විශ්වාසවන්ත ලෙසත් ආරක්ෂාකාරී ලෙසත් තම මුදල් තැන්පතු ලෙස තැබීමට හෝ ආයෝජනය කිරීමේ හැකියාව පිළිබඳව බීබීසී සිංහල සේවය සොයා බැලීමක් කළේ ය.
ශ්රී ලංකාව තුළ මහජනතාවගෙන් අයෝජන හෝ තැන්පතු සඳහා මුදල් ලබා ගැනීමට හැකියාව පවතිනුයේ, 1988 අංක 30 දරන බැංකු පනත (සංශෝධිත) හෝ 2011 අංක 42 දරන මුදල් ව්යාපාර පනත යටතේ හෝ ශ්රී ලංකා මහ බැංකුවෙන් බලපත්ර ලබා ගත් ආයතනයක් හෝ පුද්ගලයෙකු නැතහොත් එම පනත්වල ප්රතිපාදනවලින් විශේෂයෙන් නිදහස් කර ඇති ආයතනයකට හෝ පුද්ගලයන්ට පමණි.
මුදල් ව්යාපාර පනතෙහි 3 වන වගන්තිය යටතේ නිදහස් කර ඇති 1988 අංක 30 දරන බැංකු පනත ප්රකාරව නිදහස් කර ඇති ආයතන, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ හෝ පළාත් සභාවක ප්රඥප්තියක් යටතේ ලියාපදිංචි වී ඇති සමූපකාර සමිති සහ තත්කාලයේ බලපවත්නා යම් ලිඛිත නීතියක් මගින් නිදහස් කරනු ලැබූ සමෘද්ධි බැංකු, ගොවිජන සේවා පනත යටතේ ස්ථාපිත බැංකු සහ ක්ෂුද්ර මූල්ය පනත යටතේ බලපත්ර ලබා දී ඇති ආයතන ආදි ආයතනවලට පමනක් එසේ තැන්පතු ලබා ගැනීමට හැකියාව පවතී.
ඉහත සඳහන් කර ඇති ක්රම අනුව බලපත්ර සහිත ආයතන හෝ පුද්ගලයන්ට හැර වෙනත් කිසිදු ආයතනයකට හෝ පුද්ගලයෙකුට මහජනයාගෙන් තැන්පතු භාර ගැනීමට අවසර හිමි නොවන බව ශ්රී ලංකා මහ බැංකුව බීබීසී සිංහල සේවය වෙත එවූ ලිඛිත පිළිතුරේ සඳහන් ය.
නීති විරෝධී තැන්පතු රැස් කිරීමට එරෙහිව ගන්නා පියවර මොනවා ද?
නීති විරෝධී ලෙස මුදල් තැන්පතු හෝ ආයෝජන ලබා ගන්නා පුද්ගලයන් හෝ ආයතන සම්බන්ධයෙන් පියවර ගැනීමේ බලය ශ්රී ලංකා මහ බැංකුව සතු වේ.
ඒ අනුව, 2011 අංක 42 දරන මුදල් ව්යාපාර පනතේ 2 වන වගන්තියට අනුව අධිකාරී බලයක් නොමැතිව මුදල් ව්යාපාර පවත්වාගෙන යාම හා තැන්පතු භාර ගැනීම වරදක් වන බැවින්, එසේ අනවසර මුදල් ව්යාපාර සිදු කරන සහ/හෝ තැන්පතු භාර ගැනීම සිදු කරන ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව 2011 අංක 42 දරන මුදල් ව්යාපාර පනත යටතේ නීති ක්රියාමාර්ග ගැනීමට ශ්රී ලංකා මහ බැංකුවට හැකියාව පවතී.
එමෙන් ම, මුදල් ව්යාපාර පනතේ විධි විධාන ප්රකාරව, විමර්ශනයකින් අනතුරුව එකී පනතේ 56 (1) වගන්තියේ සඳහන් වන පරිදි අදාළ පාර්ශවයන් වෙත දණ්ඩන පැනවීමට ශ්රී ලංකා මහ බැංකුවට බලය හිමිව ඇත.
වගා ආයෝජනවලට ආයෝජනය නොකරන ලෙස දැනුම් දෙන්නේ ඇයි?
මෑත කාලීනව වගාවන් සඳහා අයෝජන හෝ තැන්පතු මහජනතාවගෙන් ඉල්ලා සිටින ආයතන රැසක් බිහිව ඇති අතර, එසේ වගාවන් සඳහා අයෝජන හෝ තැන්පතු එකතු කිරීමේ හැකියාව සම්බන්ධව බීබීසී සිංහල සේවය විමසීමක් කළේ ය.
"1988 අංක 30 දරන බැංකු පනත (සංශෝධිත) හෝ 2011 අංක 42 දරන මුදල් ව්යාපාර පනත යටතේ හෝ ශ්රී ලංකා මහ බැංකුවෙන් බලපත්ර ලබාගත් ආයතනයක් හෝ පුද්ගලයෙකු නැතහොත් එම පනත්වල ප්රතිපාදනවලින් විශේෂයෙන් නිදහස් කර ඇති ආයතනයක් හෝ පුද්ගලයෙකු හැර, විවිධ ව්යාපාර මුවාවෙන් අනවසර ලෙස මහජන තැන්පතු භාර ගැනීමට අවසර හිමි නොවේ," යැයි එයට පිළිතුරු ලෙස ශ්රී ලංකා මහ බැංකුව දැනුම් දී ඇත.
2011 අංක 42 දරන මුදල් ව්යාපාර පනතේ 2 වන වගන්තියට අනුව බලපත්රයක් නොමැතිව මහජන තැන්පතු භාර ගැනීම සහ මුදල් ව්යාපාර සිදු කිරීම එම පනත යටතේ අපරාධමය වරදක් වන බැවින් වගාවන් සඳහා අයෝජන හෝ තැන්පතු නොකරන ලෙසට ජනතාව දැනුවත් කරන බව ද මහ බැංකුව පවසයි.
වගා ආයෝජන ලබා ගත් ආයතනවලට ගෙන ඇති පියවර මොනවා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
දැනට එලෙස වගාවන් සඳහා අයෝජන හෝ තැන්පතු ලෙස මහජනතාවගෙන් මුදල් ලබා ගන්නා ආයතන හෝ පුද්ගලයන් කොපමණ සංඛ්යාවක් මහ බැංකුව හඳුනාගෙන තිබේ ද යන්න මෙන් ම, ඊට එරෙහිව ගෙන ඇති පියවර සම්බන්ධව ද ශ්රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබේ.
ඒ අනුව, ඇතැම් ආයතන සහ පුද්ගලයන් සම්බන්ධව, විවිධ ව්යාපාර මුවාවෙන් අනවසර ලෙස මහජන තැන්පතු භාර ගන්නා බවට ශ්රී ලංකා මහ බැංකුව වෙත වාර්තා වූ තොරතුරු පදනම් කරගෙන, එකී ආයතන සහ පුද්ගලයන් විසින් මුදල් ව්යාපාර පනතේ 2 වන වගන්තියේ විධි විධාන උල්ලංඝනය කරමින් තැන්පතු භාරගනු ලැබ තිබේ ද හෝ භාර ගන්නේ ද හෝ මුදල් ව්යාපාර කටයුතු කරගෙන යනු ලැබුවේ ද හෝ කරගෙන යන්නේ ද යන්න පිළිබඳ විමර්ශන, මුදල් ව්යාපාර පනතේ 42(1) වන වගන්තියේ ප්රතිපාදන ප්රකාරව, ශ්රී ලංකා මහ බැංකුව සිදු කරමින් පවතී.
එකී විමර්ශනයන්හි ප්රගතිය, මුදල් ව්යාපාර පනතේ ප්රතිපාදනයන්ට යටත්ව යථා කාලයේදී මහජනතාව වෙත දැනුම් දෙනු ලබන බවත් ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
"තව ද, සිලෝන් ග්රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (ප්රයිවට්) ලිමිටඩ් ආයතනය සහ කසාගල ග්රීන් ප්ලාන්ටේෂන් (ප්රයිවට්) ලිමිටඩ් යන ආයතන විසින් සිදුකරගෙන යන ලද සහ/ හෝ සිදු කරමින් පවතින ව්යාපාර කටයුතු සම්බන්ධයෙන් ලද පැමිණිලි පදනම් කර ගනිමින්, 2011 අංක 42 දරන මුදල් ව්යාපාර පනතේ 42 වන වගන්තියේ ප්රතිපාදන ප්රකාරව, එම පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් තැන්පතු භාර ගනු ලබන්නේ ද හෝ මුදල් ව්යාපාර කටයුතු කරගෙන යනු ලබන්නේ ද යන්න පිළිබඳව ශ්රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලබන විමර්ශනයන්ට අදාලව, කොළඹ මහාධිකරණයේ නඩු අංක HC/FS/12/2026 යටතේ සිලෝන් ග්රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (ප්රයිවට්) ලිමිටඩ් සහ එහි අධ්යක්ෂවරයාගේත්, නඩු අංක HC/FS/15/2026 යටතේ කසාගල ග්රීන් ප්ලාන්ටේෂන් (ප්රයිවට්) ලිමිටඩ් සහ එහි අධ්යක්ෂවරුන්ගේත් බැංකු ගිණුම් ඇතුළු අනෙකුත් වත්කම් බැහැර කිරීම, පැවරීම හෝ වෙනත් ආකාරයකින් ගණුදෙනු කිරීම වළක්වාලමින් ක්රියාවිරහිත කිරීමේ නියෝග, ගරු අධිකරණය නිකුත් කර ඇති බව දන්වා සිටින අතර, එම නඩුවලට අදාළව, ගරු අධිකරණය විසින් ඉදිරියේදී නිකුත් කරනු ලබන නියෝගවලට අනුව කටයුතු සිදු කෙරෙනු ඇති බව වැඩිදුරටත් දන්වා සිටිමු," යනුවෙන් මහ බැංකුව සඳහන් කර තිබේ.
බලයලත් නීත්යනුකූල ආයතන හඳුනාගන්නේ කෙසේ ද?
මහජනතාවගෙන් අයෝජන හෝ තැන්පතු එකතු කරනු ලබන ආයතන එම කටයුතු නීත්යනුකූලව සිදුකරන්නේ ද සහ මහ බැංකුව මගින් ඒවා නියමනය වෙනවා ද යන්න මහජනතාවට දැන ගැනීමට ඇති ක්රම පිළිබඳව ද බීබීසී සිංහල සේවය විමසීමක් කළේ ය.
ශ්රී ලංකා මහ බැංකුව පවසන පරිදි, 1988 අංක 30 දරන බැංකු පනත (සංශෝධිත) සහ 2011 අංක 42 දරන මුදල් ව්යාපාර පනත යටතේ හෝ ශ්රී ලංකා මහ බැංකුවෙන් බලපත්ර ලබාගත් ආයතනවල යාවත්කාලීන කරන ලද ලැයිස්තුවක් ශ්රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ දක්වා ඇත.
තව ද, කාර්තුමය වශයෙන් පුවත්පත් හරහා ද මෙම ලැයිස්තුව මහජනතාව වෙත ඉදිරිපත් කරනු ලබන බවත්, ශ්රී ලංකා මහ බැංකුව විසින් බීබීසී සිංහල සේවයට දැනුම් දුන්නේ ය.
ශ්රී ලංකා මහ බැංකුවෙන් ජනතාවට ඉල්ලීමක්
අනවසර මුදල් ව්යාපාර පවත්වාගෙන යන පුද්ගලයන් සහ ආයතන මුදල් ආයෝජනය කිරීමේදී ආකර්ෂණීය පොළී අනුපාත ලබා දීම, බදු ගෙවීම් පැහැර හැරීමට අවස්ථාව ලබා දීම, මුදල් විශුද්ධිකරණයට අවස්ථාව ලබා දීම, ප්රකට ව්යාපාර නාමයන් වෙත යොමුවීම, පෞද්ගලික දැනහැඳුනුම්කම් පෙන්වීම, අයෝජන මුදල ඉතා කෙටි කාලයකින් ලැබෙන බව පෙන්වීම, අනෙකුත් වරප්රසාද හිමි වන බවට මවා පෙන්වීම, පොරොන්දු පත්ර, ණය ගිවිසුම්, විවිධ සහතික ලබා දීම වැනි ක්රියා මාර්ග හේතුවෙන් මහජනතාව රැවටීමට ලක්වේ.
එබැවින්, තමන් දුක් මහන්සියෙන් උපයාගත් මුදල් ආයෝජනය කිරීමේදී රැවටිලිකරුවන්ට හසු නොවී, ඉහළ පොළී අනුපාත සහ වරප්රසාදවලට නොරැවටී ඉතා ඉහළ අවදානමක් ඇති මෙවැනි අයෝජනවලින් වැළකී බුද්ධිමත්ව කටයුතු කිරීමට මහජනතාව වගබලා ගත යුතු බව ද ශ්රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.
එවැනි අනවසර මුදල් ව්යාපාර පවත්වාගෙන යන පුද්ගලයන් සහ ආයතන පිළිබඳ තොරතුරු දැනගත් විගස 011-2477504 යන දුරකතන අංකයට ඇමතුමක් ලබා දීමෙන් හෝ dsnbfi@cbsl.lk යන විද්යුත් ලිපිනයට විද්යුත් පණිවිඩයක් එවීමෙන් හෝ, අධ්යක්ෂ, බැංකු නොවන මූල්ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්රී ලංකා මහ බැංකුව, කොළඹ 01 යන ලිපිනයට ලිපියක් යොමු කිරීමෙන් හෝ තොරතුරු වාර්තා කළ හැකි අතර, එම තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ සහ ඔවුන් ලබා දෙන තොරතුරුවල රහස්යභාවය ආරක්ෂා කිරීමට ශ්රී ලංකා මහ බැංකුව බැඳී සිටී.
එසේ ම, ශ්රී ලංකා මහ බැංකුව විසින් සිය විමර්ශන කටයුතු සඳහා තොරතුරු ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලුම් කරනු ලැබූ විට එම තොරතුරු කඩිනමින් ලබා දී, ශ්රී ලංකා මහ බැංකුව වෙත උපරිම සහයක් ලබා දීම තුළින් අනවසර මුදල් ව්යාපාර පවත්වාගෙන යන පුද්ගලයන් සහ ආයතන තවදුරටත් රට පුරා ව්යාප්ත වීම අවම කිරීමට හැකි වනු ඇති බව ශ්රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් ජනතාව වෙත දැනුම් දෙනු ලැබේ.



































