තමන්ට වැළඳුණු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් ගැන ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු හෙළි කරයි

බෙන්ජමින් නෙතන්යාහු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කියවීමේ කාලය: මිනිත්තු 4

තමන් පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවකට ප්‍රතිකාර ගත් බව ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු හෙළි කරයි

ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු තමන්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් වැළඳී තිබූ බව හෙළි කර තිබේ.

ඔහු සිය X ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, මේ වන විට තමන් සෞඛ්‍ය සම්පන්නව සිටින බව ය.

තමන්ගේ පුරස්ථි ග්‍රන්ථියේ තිබූ ගැටිත්තක් හඳුනා ගත් බවත්, එය හඳුනාගැනීමෙන් පසු සිදු කළ ප්‍රතිකාර පිළිබඳවත් එහි සඳහන් කර තිබේ.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

නෙතන්යාහු X ගිණුමෙහි තබා තිබූ සටහන

ඔහු සිය X ගිණුමෙහි හීබෲ බසින් පළ කර ඇති සටහනෙහි දළ සිංහල පරිවර්තනය මෙසේ ය.

'අද, මගේ වාර්ෂික වෛද්‍ය වාර්තාව ප්‍රකාශයට පත් කරන ලදී.

ඉරාන ත්‍රස්තවාදී තන්ත්‍රය ඊශ්‍රායලයට එරෙහිව තවත් අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීමට ඉඩ නොතැබීමට, යුද්ධයේ උච්චතම අවස්ථාවේදී එය නිකුත් නොකර, මාස දෙකකින් ප්‍රමාද කරන ලෙස මම ඉල්ලා සිටියෙමි.

මම ඔබ සමග කරුණු තුනක් බෙදා ගැනීමට කැමැත්තෙමි:

  • දෙවියන්ට ස්තූතියි, මම නිරෝගීව සිටිමි.
  • මම විශිෂ්ට ශාරීරික සෞඛ්‍ය තත්ත්වයක සිටිමි.
  • මගේ පුරස්ථි ග්‍රන්ථියේ සුළු වෛද්‍ය ගැටලුවක් ඇති වූ අතර ඊට සම්පූර්ණයෙන් ම ප්‍රතිකාර කරන ලදී. දෙවියන්ට ස්තූතියි, එතුමා මා පිටුපසින් ඇත.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

වසර එක හමාරකට පෙර, මම පුරස්ථි ග්‍රන්ථියක ඉදිමුමක් සඳහා සාර්ථක සැත්කමකට භාජනය වූ අතර, එතැන් සිට මම සාමාන්‍ය වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිමි.

අවසාන නිරීක්ෂණයේදී, පුරස්ථි ග්‍රන්ථියේ සෙන්ටිමීටරයකට වඩා අඩු කුඩා ගැටිත්තක් සොයා ගන්නා ලදී.

පරීක්ෂණයෙන් පසු, එය මාරාන්තික පිළිකාවක ඉතා මුල් අවධියක් බවට හඳුනාගත් අතර, කිසිදු පැතිරීමක් සිදුව නොතිබිණි.

වෛද්‍යවරුන් මට පැවසුවේ, මෙය මගේ වයසේ පිරිමින් අතර ඉතා සුලභ තත්ත්වයක් බවත්, විකල්ප දෙකක් ඇති බවත් ය:

  • එයට ප්‍රතිකාර කළ යුතු නැත; තනිව ම අධීක්ෂණය යටතේ සිටීම. ඔබට එය සමග ජීවත් විය හැකි අතර බොහෝ දෙනෙක් එසේ කරති.
  • ප්‍රතිකාර ලබාගෙන ගැටලුව ඉවත් කිරීම.

ඔබ දැනටමත් මා ගැන දන්නවා.

ඇති විය හැකි අනතුරක් පිළිබඳව මට තොරතුරු ලබා දුන් විට, මම වහා ම එයට මුහුණ දීමට කැමත්තෙමි.

එය ජාතික මට්ටමින් පමණක් නොව, පෞද්ගලික මට්ටමින් ද අදාළ ය.

මම කළේ එය යි.

මම ඉලක්කගත ප්‍රතිකාර ලබා ගත් අතර එමගින් ගැටලුව ඉවත් වූ අතර එහි කිසිදු හෝඩුවාවක් හෝ ඉතිරි නොවී ය.

මම කෙටි ප්‍රතිකාර කිහිපයකට ගියෙමි, පොතක් කියෙව්වෙමි, අඛණ්ඩව වැඩවල නිරත වූයෙමි.

එම ගැටිත්ත සම්පූර්ණයෙන් ම අතුරුදන් විය.

දෙවියන්ට ස්තූතියි, මම එය ද ජය ගත්තෙමි.

ජෙරුසලමේ හදසා රෝහලේ වෛද්‍යවරුන්ට සහ සෙසු කණ්ඩායම්වලට මම ස්තූති කිරීමට කැමැත්තෙමි.

ඊශ්‍රායලයේ පුරවැසියන් වන ඔබෙන් මට ඉල්ලීමට ඇත්තේ එක ම ඉල්ලීමකි:

ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න. සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුගමනය කරන්න.

මෙතැන් සිට, සබත් දිනට පෙර දින, අපගේ තුවාල ලැබූවන්ගේ ශරීරවල සහ ආත්මවල සාමය උදෙසා මම යාච්ඤා කරමි. ඔබේ (දෙවියන්) නාමයෙන් ඔවුන්ට උණුසුම් වැළඳගැනීමක් සහ සම්පූර්ණ සුවයක් එවනු මැනවි.

පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් යනු කුමක් ද?

පුරස්ථි ගන්ථි පිළිකා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකාව යනු ලෝකය පුරා සිටින පුරුෂයින්ට බලපාන සෞඛ්‍ය ගැටලුවකි. මේ පිළිකා තත්ත්වය ලෝකයේ පිරිමින් අතර දෙවන ස්ථානයේ පවතින බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මෞත්‍ර ලිංගික සහ වකුගඩු බද්ධ කිරීමේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනි යසුනි මාණික්කගේ පවසයි.

පුරස්ථි ග්‍රන්ථි පිළිකාව මුල් අවදියේදී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන බව ඇය කියා සිටියා ය.

"පුරස්ථි ග්‍රන්ථිය පිරිමි පුද්ගලයින්ට පමණක් තියෙන අවයවයක්. පුරස්ථි ග්‍රන්ථිය පුරුෂ මෞත්‍ර ලිංගික පද්ධතියේ කොටසක්. මේක පිහිටලා තියෙන්නේ මුත්‍රාශයත් ගුද මාර්ගයත් අතර පිහිටි ප්‍රදේශයේ යි. මේක හැඩයෙන් වටකුරු හැඩයක් තියෙන්නේ. මේ ග්‍රන්ථිය වෝල්න්ට් ගෙඩියක විතර ප්‍රමාණයක් ගන්නවා. පුරස්ථි ග්‍රන්ථියේ ප්‍රධාන කාර්ය වන්නේ ශුක්‍රාණු පිටවීමේ ද්‍රවයක් නිපදවීම තමයි ඒ ග්‍රන්ථියෙන් සිදුවෙන්නේ."

''සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයින් වයසට යන විට පුරස්ථි ග්‍රන්ථිය අධි වර්ධනයක් දකින්නට ලැබෙනවා. මේ තත්ත්වය ගැන වෛද්‍ය විද්‍යාවේ සඳහන් කරන්නේ BPH එහෙම නැත්නම් Benign prostatic hyperplsia කියලා.''

''වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ගෙන් 50%කට වැඩි පිරිසකට පුරස්ථි ග්‍රන්ථිය අධි වර්ධන තත්ත්වයක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අවුරුදු 85 ට වැඩි පිරිසෙන් 90% කට වැඩි පිරිසකට මේ තත්ත්වය ඇතිවෙනවා. මෙහෙම පුරස්ථි ග්‍රන්ථිය විශාල වීම නිසා ජීවන තත්ත්වයට සැලකිය යුතු ලෙස බලපෑමක් එල්ල කෙරෙනවා." ඇය පැවසුවාය.

මෙම රෝගය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට කියවන්න.