විදෙස්ගත ඔබට ඉදිරි මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ කොහොම ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 5
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මෙරට මැතිවරණවලදී සිය ඡන්දය භාවිත කිරීමට හැකි වන පරිදි නීති සම්පාදනය කිරීම සහ ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදය සකස් කිරීම බොහෝ කාලයක් තිස්සේ කතා බහට ලක් වූ මාතෘකාවකි.
මෑත කාලීනව පැවති ජනාධිපතිවරණවලදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණි ඡන්දය භාවිත කර නැවත විදෙස්ගත වීමේ ප්‍රවණතාවක් ද වසර කිහිපයකට සිටින දක්නට ලැබිණි.
මෙවන් පසුබිමක විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ට එම රටවල සිට ම මෙරට මැතිවරණවලදී සිය ඡන්දය භාවිත කිරීමට අවකාශය සලසා දීමට පහසුකම් සැලසීමට වත්මන් රජයේ අවධානය යොමුව ඇති අතර, ඒ සඳහා කොමිසමක් ද පත් කෙරිණි.
කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව ඇමතිවරයාට
ඒ අනුව, විදේශගතව සිටින ලක්ෂ 15කට අධික ශ්‍රී ලාංකිකයන්ට මෙරට මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහ ප්‍රායෝගික ක්‍රමවේද සකස් කිරීම වෙනුවෙන් පත් කළ විශේෂ කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත භාර දී තිබේ.
වසර ගණනාවක් තිස්සේ සාකච්ඡාවට බඳුන් වූ මෙම පියවර ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව, 2025 දෙසැම්බර් මාසයේදී මෙම කමිටුව පත් කරන ලද අතර කමිටුව විසින් අපේක්ෂිත කාලයට පෙර, මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් විමසා මෙම වාර්තාව සකස් කිරීම විශේෂත්වයකි.
ක්‍රියාත්මක කිරීම යෝජිත අංශ මොනවා ද?
මෙම වාර්තාව සකස් කිරීමේදී විදේශගත ශ්‍රමිකයන්, ශිෂ්‍යයන්, ද්විත්ව පුරවැසියන් සහ වෙනත් අවශ්‍යතා සඳහා විදේශගත වූවන් ලෙස පුද්ගලයන් කාණ්ඩ හතරකට හඳුනාගෙන තිබෙන බව වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමින් කමිටුවේ සභාපති අතිරේක මැතිවරණ කොමසාරිස්, නීතිඥ එල්. ඒ. පී. කේ. කුලරත්න ප්‍රකාශ කළේ ය.
එමෙන් ම, ක්‍රියාවලිය ප්‍රධාන අංශ 4ක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති අතර ඒවා පහත පරිදි වේ.
- ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම: විදේශගත ශ්‍රමිකයන්, සිසුන් සහ ද්විත්ව පුරවැසියන් විධිමත් ලෙස ලියාපදිංචි කිරීමේ ක්‍රමවේද
- මැතිවරණ ප්‍රචාරණය: විදේශයන්හි සිටින ඡන්දදායකයන් සඳහා ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සහ මැතිවරණ වියදම් නියාමන පනතේ බලපෑම
- ඡන්දය ප්‍රකාශ කිරීම: තානාපති කාර්යාල හරහා, තැපැල් මගින් හෝ ආරක්ෂිත මාර්ගගත (Online) ක්‍රමවේද භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ ඇති හැකියාව
- ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම
විදේශගත ලාංකිකයන්ට ඡන්ද අයිතිය දිය යුත්තේ ඇයි?
ලක්ෂ 15ක ඡන්ද දායකයන් යනු සැලකිය යුතු සංඛ්‍යාවකි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එය තීරක සංඛ්‍යාවක් ලෙසද නම් කළ හැකි ය.
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මෙරට මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහ ප්‍රායෝගික ක්‍රමවේද සකස් කිරීම වෙනුවෙන් පත්කළ විශේෂ කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව සම්බන්ධව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව බීබීසී සිංහල සේවය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්නගෙන් විමසීමක් සිදු කරන ලදී.
මෙම වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනතාවට අධ්‍යයනය කිරීමට අවස්ථාව හිමි වන බව ඇමතිවරයා කියා සිටියේ ය.
"කමිටුවේ සාමාජිකයෝ විවිධ පාර්ශ එක්ක සාකච්ඡා කරලා, ඒගොල්ලන්ගෙත් අදහස්, යෝජනා අරගෙන තමයි මේ වාර්තාව අපට දුන්නේ. මේ වාර්තාව ගැන කැබිනට් මණ්ඩලය හැටියට අපි සැලකිල්ලට අරගෙන ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවල දී විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ලබා දීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න තමයි අපේ අපේක්ෂාව," ඔහු පැවසීය.
මෙලෙස විදේශගත ප්‍රජාවට ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව ලබා දීමට රජය පියවර ගනු ලැබුවේ ඇයි දැයි චන්දන අබේරත්න අමාත්‍යවරයා පැහැදිලි කළේ ය.
"දීර්ඝ කාලයක් තිස්සේ, 90 දශකයේ ඉඳලා ම වගේ මේ ප්රශ්නය සමාජයේ ලොකු සාකච්ඡාවකට භාජනය වෙලා තිබුණා. නමුත් මේක ක්‍රියාත්මක වුණේ නැහැ. ආසන්න වශයෙන් ලක්ෂ 15ක් ශ්‍රී ලාංකිකයෝ විදෙස්ගත වෙලා ඉන්නවා, විශේෂයෙන්ම වෘත්තිමය කටයුතු සඳහා නැතිනම් විදේශ රැකියා සඳහා. ඊට අමතරව තව ඉන්නවා විශාල පිරිසක් අධ්‍යයන කටයුතු සඳහා විදේශගත වෙලා," අමාත්‍යවරයා පවසයි.
"මෙන්න මේ කණ්ඩායම් රටේ ආර්ථිකය සඳහා විශාල දායකත්වයක් දක්වන පිරිසක්, විශේෂයෙන් ම ශ්‍රමිකයන් හැටියට ගිහිල්ලා ඉන්න පිරිස. ඒගොල්ලෝ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන කණ්ඩායමක් වුණාට ඒගොල්ලන්ට රටේ පාලනය සම්බන්ධව තීන්දු තීරණ ගන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ නිසා අපි රජය හැටියට කල්පනා කළා ආර්ථිකයට මෙච්චර විශාල දායකත්වයක් දක්වන පිරිස රටේ පාලනය සම්බන්ධවත් තමන්ගේ අදහස ප්‍රකාශ කරලා, ඡන්දවලදී තමන් කැමති දේශපාලන පක්ෂවලට, තමන්ගේ නියෝජිතයන්ට ඡන්දය ප්‍රකාශ කරලා ඒ සඳහාත් දායක කරගන්න අවශ්‍යයි කියන එක," යැයි අමාත්‍යවරයා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීමේ වැදගත්කම විස්තර කරමින් ප්‍රකාශ කළේ ය.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සෑම මැතිවරණයකදී ම විදෙස්ගත ප්‍රජාවගේ දායකත්වය ලබා ගත හැකි වනු ඇති බවට ද අමාත්‍ය චන්දන අබේරත්න විශ්වාසය පළ කළේ ය.
"මේක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්, නමුත් අපි හිතනවා ඒක මොන තරම් සංකීර්ණ වුණත් ඔවුන්ට ඒ අවස්ථාව ලබා දිය යුතුයි කියලා."
ඡන්ද වරම් දෙන්න වාර්තාවෙන් යෝජනා වූ තවත් පිරිස්
තවද, සිරකරුවන්ට සහ තැපැල් ඡන්දය සඳහා අවකාශ නොමැති එහෙත් මැතිවරණවලදී අත්‍යවශ්‍ය රාජකාරී හේතුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට නොහැකි වී යන කණ්ඩායම් සම්බන්ධයෙන් ද මෙම වාර්තාවෙන් අවධානය යොමු කර ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න පැවසීය.
"සිරකරුවන්ට විතරක් නෙමෙයි, රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය සේවාවල ඉන්න වෛද්‍යවරු ඇතුළු විශාල පිරිසක් ඉන්නවා, රේගුව වගේ තැන්වල, ඒගොල්ලන්ට ඡන්දය පාවිච්චි කරන්න විදියක් නැහැ," ඔහු පැවසුවේ ය.
"මොකද තැපැල් ඡන්ද අයිතිය තියෙන්නේ මැතිවරණ රාජකාරීවලට සම්බන්ධ වෙන පිරිසට විතරයි. මැතිවරණ රාජකාරීවලට සම්බන්ධ නොවුණට මැතිවරණ දිනවලදී තමන්ගේ රාජකාරිය කරන විශාල පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ටත් ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ දුර බැහැර රාජකාරි ස්ථානවල ඉන්න අයට. ඒගොල්ලන්ටත් ඡන්දය පාවිච්චි කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා මේ වාර්තාවේ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා," අමාත්‍යවරයා විස්තර කළේ ය.
ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්නේ කවදා ද?
ඉදිරිපත් කර ඇති වාර්තාවේ යෝජනා සලකා බලා, අවශ්‍ය නීති සම්පාදනය කර යම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට ගත වන කාලය පිළිබඳව ද බීබීසී සිංහල සේවය අමාත්‍යවරයාගෙන් විමසන ලදී.
"කාලයක් කියන්න අමාරුයි, නමුත් ඉතාම කඩිනමින් ඊළඟට එන ඕනෑ ම මැතිවරණයක දී මේ අවස්ථාව ලබා දීම සඳහා කටයුතු කරන්න තමයි අපේ ඉලක්කය," ඔහු පැවසුවේ ය.
"අපි හිතනවා මාස 6ක් වගේ කාලයක් ඇතුළත අපිට මේක අවසාන කරන්න පුලුවන් වෙයි කියලා."
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සැපයීම ගැන සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් 2019 වසරේ ද පත් කර තිබූ අතර, එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ සුනිල් හඳුන්නෙත්ති සහ බිමල් රත්නායක ද එම කාරක සභාවේ සාමාජිකයෝ වූහ.


































