තරුණයින් 11ක් අතුරුදන් කිරීම: හිටපු නාවික හමුදාපති යළිත් සැකකරුවෙකු ලෙස නම් කළේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව පවතින නඩුකරයේ සැකකරුවෙකු ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න නම් කරනු ලැබී ය.
ඒ අනුව, කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ, ජූලි 27 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සැකකාර හිටපු නාවික හමුදාපතිවරයාට සිතාසි නිකුත් කරන ලෙස ය.
2024 වසරේ සැකකරු මුදා හැරියේ කෙසේ ද?
මෙම සිද්ධියේ සැකකරුවෙකු ලෙස රවීන්ද්‍ර විජයගුණරත්න මීට පෙර නම් කර තිබූ අතර, ඔහු ඇප මත මුදාහැර තිබිණි.
එහෙත්, 2024 වසරේ ජනවාරි 03 වන දා එවක නීතිපතිවරයා ලෙස කටයුතු කළ සංජේ රාජරත්නම්ගේ උපදෙස් මත මෙම සැකකරු මුදා හැරීමට කටයුතු කෙරුණු බවත්, අගතියට පත් පාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඔහු නැවත සැකකරුවෙකු ලෙස නම් කිරීමට තීරණය කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.
එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නියෝග කළේ ය.
හිටපු නාවික හමුදාපතිට ඇති චෝදනා මොනවා ද?
2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවක වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවකු වූ නේවී සම්පත් නමැත්තාට සැඟව සීටීමට අධාර අනුබල ලබා දීම ඇතුළු චෝදනා යටතේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.
මෙම සිද්ධියේ සෙසු සැකකරුවන් ලෙස නම් කර තිබෙන ලක්සිරි අමරසිංහ හා හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අය මේ වන විට ඇප මත මුදාහැර ඇති අතර මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඔවුහු අධිකරණය හමුවේ පෙනී සිටියහ.
2008 වසරේදී දමිළ තරුණයන් 11 දෙනකු කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලදී පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, රඳවා තබාගෙන කප්පම් ගැනීමට තැත් කිරීම යන චෝදනා යටතේ පවරා ඇති නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර, පසුව නීතිපති උපදෙස් මත මුදා හරින ලද හිටපු නාවික හමුදාපති සහ ත්‍රිවිධ හමුදා හිටපු මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ 2026 අප්‍රේල් 29 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ අචලා සෙනෙවිරත්න කළ ඉල්ලීමක් අනුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ ය.
අද්මිරාල් රවීන්ද්‍ර අබේගුණරත්න 2015 සිට 2017 දක්වා නාවික හමුදාපති ධූරය දැරූ අතර, 2017 සිට 2020 දක්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේ කටයුතු කළේ ය.
සිද්ධි මාලාව සැකෙවින්
- 2008.09.17 පාසල් වයසේ දරුවන් 5 ක් ඇතුළු පුද්ගලයන් 11 ක් අතුරුදන් වූහ.
- 2016.09.06 හිටපු නාවික හමුදා ප්‍රකාශක ඩි.කේ. පී. දසනායක විදෙස් ගතවන්නට කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි.
- 2017.07.12 නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩි.කේ.පි. දසනායක අත්අඩංගුවට පත්විය.
- 2017 ජූලි 4 බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කිරීම සඳහා වූ පනතට ඒකාබද්ධ විපක්ෂය සිය විරෝධය පළකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
- 2018.01.09 නාවික හමුදා නිලධාරී සම්පත් මුණසිංහ දැනටමත් ඇප මත මුදාහැර තිබියදී හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩීකේපී දසනායක ඇතුළු නාවික හමුදා නිලධාරීන් හයදෙනා ඇප මත මුදාහැරීම පිළිබඳව නීතිපතිවරයා විරෝධය පළ කළ අවස්ථාවේ, නීතිපතිගේ ස්ථාවරය "උභතෝකෝටික ප්‍රශ්නයක්" බව විනිසුරු ප්‍රකාශ කරයි.
- 2018.01.09 රිමාන්ඩ් භාරයට පත්කර තිබූ නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩීකේපී දසනායක ඇතුළු නාවික හමුදා නිලධාරීන් හය දෙනා රුපියල් ලක්ෂ 10 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප 3ක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේ ය.
- 2024 වසරේ ජනවාරි 03 වන දා එවක නීතිපතිවරයා ලෙස කටයුතු කළ සංජේ රාජරත්නම්ගේ උපදෙස් මත මෙම සැකකරු මුදා හැරීමට කටයුතු කෙරිණි.
- 2026 අප්‍රේල් 29 වන දා නීතිඥ අචලා සෙනෙවිරත්න කළ ඉල්ලීමක් අනුව රවීන්ද්‍ර විජේගුණරත්න සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.
- 2026 ජූනි 10 වන දා අදාළ නඩුකරයේ සැකකරුවෙකු ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න යළිත් නම් කරනු ලැබී ය.


































