චූලා: 'රටෙන් ගත් දේ ආපසු රටට දී' හදිසියේ යන්න ගිය නිරූපණ ක්ෂේත්‍රයේ දැවැන්ත සන්නාමය

Chula

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Chulpadmendra Kumarapathirana

    • Author, කුමුදු ජයවර්ධන
    • Role, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

'චූලා' යන කෙටි නාමයෙන් බොහෝවිට හඳුන්වනු ලැබූ චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණ යනු ශ්‍රී ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක් විය.

නිරූපණ ශිල්පිනියක ලෙස වඩාත් ප්‍රසිද්ධියට පත්ව සිටිය ද, ඇය රංගන ශිල්පිනියක පමණක් නොව නර්තන ශිල්පිනියක ලෙස ද දක්ෂතා දැක්වූවා ය.

44 වන වියේ පසුවූ ඇය හදිසියේ අභාවයට පත්වූ පුවත සඳුදා (අගෝ: 31) අසන්නට ලැබිණි.

මෙතෙක් ඇගේ අභාවයට හේතුව නිල වශයෙන් තහවුරු වී නැත.

පාසල් සමයේ හොඳ ම මිතුරිය රොසෑන් ඩයස්ගේ මතකය

මෙරට නිරූපණ ක්ෂේත්‍රයේ තවත් දැවැන්ත චරිතයක් වන රොසෑන් ඩයස් පාසල් සමයේ සිට චූලාගේ හොඳ ම මිතුරිය වූවා ය.

පාසල් සමයේ මිතුරියන් වුව ද, ඔවුන් දෙදෙනා අධ්‍යාපනය ලැබුවේ, එක ම පාසලේ නොවන බව රොසෑන් ඩයස් පැවසීය.

රොසෑන් කොළඹ යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ ඉගෙනුම ලැබූ අතර, චූලා ඉගෙනුම ලැබුවේ, බෞද්ධ බාලිකා විද්‍යාලයේ ය.

බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් රොසෑන් ඩයස් චූලා සමග ගෙවූ අතීතය පිළිබඳව ආවර්ජණය කළා ය.

"අපි දෙන්නා ඉස්කෝල දෙකකට ගියේ. අපි දෙන්නා මරදාන ස්ටේෂන් එකට ඇවිත් කෝච්චි දෙකක ගියේ. ඒ අතරමග තමයි අපි දෙන්නා හමුවුණේ. අපි යාළුවෝ වෙන්න එක හේතුවක් තමයි, දෙන්නම මලල ක්‍රීඩා කරපු එක. ඒක නිසා තමයි අපි අඳුනගත්තේ."

චූලා පාසල් සමයේ දක්ෂ මලල ක්‍රීඩිකාවක බව රොසෑන් ඩයස් පැවසුවා ය.

"එයා ගොඩක් දක්ෂ මලල ක්‍රීඩිකාවක් ඒ කාලේ. අපි දෙන්න ම ක්‍රීඩා කළා. ඒ නිසා අපි නිතර හම්බ වුණා. එයා ගොඩක් හොඳ යාළුවෙක්. පාසලෙන් ඉවත් වුණාට පස්සෙ අපි දෙන්නා ම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. ඊට පස්සෙත් අපි එකට ම හිටියා."

ඇය වයස අවුරුදු 18දී පමණ නිරූපණ ක්ෂේත්‍රයට පිවිසි බව පැවසේ.

Skip Facebook post, 1
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post, 1

'එයා රටෙන් ගත්ත දේ ආපහු රටට දුන්න කෙනෙක්'

චූලා නිරූපිකාවක ලෙස යමක් රටෙන් ලබා ගත්තා නම් පෙරළා එය රටට ලබා දුන් කෙනෙකු බව රොසෑන් ඩයස් පවසයි.

"එයා රටෙන් ගත්ත දේ ආපහු රටට දුන්න කෙනෙක්. මොක ද චූලා නිරූපිකාවක ලෙස ගමන ආරම්භ කරලා, අවසානයේ නිරූපිකාවන් විශාල පිරිසකට මතු වෙන්න අවස්ථාව සලසා දුන්නා. එයා ක්ෂේත්‍රයට ගෙනාව ගොඩක් අය ඉන්නවා ක්ෂේත්‍රයේ ඉහළ තැන්වල ඉන්න. කවුරු මොනව කිව්වත්, චූලා කියන්නේ රටට ලොකු සේවයක් කරපු කෙනෙක්."

චූලා

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Chulpadmendra Kumarapathirana

කැරලයින් ජූරි ඇතුළු නිරූපණ ශිල්පීන් සහ ශිල්පිනියන් රැසකට මග පෙන්වූ ගුරුවරිය

2020 වසරේ ලෝක විවාහක රූ රැජිණ තරගයෙන් ජය ගත් කැරලයින් ජූරිගේ උපදේශකවරියක ලෙස චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණ කටයුතු කළා ය.

වසර 20කට අධික කාලයක් පුරා නිරූපණ ශිල්පිනියක සහ පුහුණුකාරියක ලෙස තවත් නිරූපණ ශිල්පිනියන් සහ ශිල්පීන් රැසකට ක්ෂේත්‍රයට පිවිසීමට ඇය සහය වී තිබේ.

නිරූපණ ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු වන රොෂාන් රණවන සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, ඔහුගේ නිරූපණ දිවියේ පළමු වරට වේදිකාව බෙදාගත්තේ, චූලා සමග බව ය.

Skip Facebook post, 2
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post, 2

නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කිරීමේදී තමන්ට ද විවිධ ආකාරයෙන් චූලා සහය දුන් බව රොසෑන් ඩයස් ද පැවසීය.

දශක දෙකකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ දැවැන්ත නමක් දිනා සිටි චුල්පත්මේන්ද්‍ර, 2006 වසරේ ටැන්සානියාවේ පැවති 'Miss Tourism Model of the World' තරගාවලියේ මාධ්‍ය සම්මානය දිනා ගනිමින් ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට සමත් වූවා ය.

කැට්වෝක් පිළිබඳ පුහුණුකාරියක වූ ඇය Chulpadmendra Catwalk Studio නමින් පුහුණු ආයතනයක් පවත්වාගෙන ගියා ය.

Universal Woman Sri Lanka 2026 හි ජාතික අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් ඇය එම තරගය සංවිධානය කළ අතර එහි අවසන් තරගය පැවතියේ, අගෝස්තු 30 වන දා ය.

2021 වසරේදී සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම

2021 වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති විවාහක රූ රැජණ තේරීමේ තරගාවලියේදී ජයග්‍රහණය ලැබූ පුෂ්පිකා ද සිල්වාට පැළඳවූ කිරුළ, කැරලයින් ජූරි විසින් ගලවා වෙනත් අයෙකුට පැළඳවනු ලැබීමේ සිද්ධියට චූලා ද සහය විය.

එම ආන්දෝලනාත්මක සිදුවීමට කැරොලයින් ජූරි සමග ඇය ද සම්බන්ධ වීම නිසා එකල ඇය දැඩි කතාබහට ලක්විය.

"චූලා ගැන කවුරු මොනවා කිව්වත්, එයාව ළඟින් ආශ්‍රය කරපු කෙනෙක් විදිහට මට කියන්න පුළුවන් ඇය ඉතා ම යහපත් කාන්තාවක්. ගොඩක් දෙනෙකුට උදව් කරපු කෙනෙත්. ඒ වගේ ම, ඉතා ම ආදරණීය සහ කැපවීම් කරපු අම්මා කෙනෙක්. එයා අවුරුදු 46දී මිය ගියත්, ජීවත් වුණ කාලය තුළ රට වෙනුවෙන් යමක් කරපු කෙනෙක්," ප්‍රවීණ නිරූපණ ශිල්පිනී රොසෑන් ඩයස් අවසන් වශයෙන් පැවසීය.