මැගසින් බන්ධනාගාරයේදී රැඳවියෙකු මිය යාම: පහර දුන් බවට චෝදනා මත බන්ධනාගාර නිලධාරීන් 3ක් රිමාන්ඩ්

- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
මැගසින් බන්ධනාගාරයේදී රැඳවියෙකු මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු බන්ධනාගාර නිලධාරීන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකරුවන් අද (අප්‍රේල් 28) අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2026 මැයි 06 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
අප්‍රේල් 27 වන දින උදෑසන මැගසින් බන්ධනාගාරය තුළ සිදුවූ මෙම මරණය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය මගින් බන්ධනාගාර ජේලර්වරයෙකු සහ නියාමකවරයෙකු එදින ම අත්අඩංගුවට ගෙන ඇති අතර, අප්‍රේල් 28 වන දින, එනම් අද දින උදෑසන තවත් බන්ධනාගාර නියාමකවරයෙකු බොරැල්ල පොලිස් ස්ථානයට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබිණි.
පහර දුන් බවට චෝදනා
මිය ගිය පුද්ගලයා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා බීබීසී සිංහල කළ විමසීමකදී පැවසීය.
එමෙන් ම ඔහු ප්‍රකාශ කළේ, සිදුවූ බව කියන පහර දීමෙන් බරපතළ තත්ත්වයේ පසු වන තවත් අයෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ය.
"උදේ 11ට මේ මනුස්සයා මැරිලා තියෙන්නේ. හවස 4ට විතර අපි අහනකම් කිව්වේ නෑ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන්," නීතිඥවරයා පැවසුවේ ය.
එමෙන් ම මිය ගිය රැඳවියාගේ සහෝදරිය සහ නීතිඥවරයා බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිට අප්‍රේල් 27 වන දින මේ සම්බන්ධයෙන් අදහස් පළ කළහ.
"මෙතන ඉන්නවා ඒ සහෝදරියක්. 11ට ඒ සහෝදරියට ආරංචි වෙලා තියෙන්නේ ඒ රැඳවියාට මෙහෙම කරදරයක් වෙලා තියෙනවා කියලා. ඒ සහෝදරිය එතන ඉඳන් දෙක තුන වෙනකන් හොයලා තියෙනවා මොක ද වුණේ කියලා. මෙතන තමයි බන්ධනාගාර මූලස්ථානය. මෙතෙන්ට ඇවිල්ලත් ඇයට තමන්ගේ සහෝදරයා ගැන කිසි ම තොරතුරක් හොයා ගන්න බැරි වෙලා තියෙනවා," නීතිඥවරයා පැවසුවේ ය.
"ඒ රැඳවියාගේ ඥාතීන් කියන්නේ ඒ තැනැත්තාට පහර දීලා තියෙනවා කියලා," යනුවෙන් ද ඔහු පැවසීය.
'මේකට සාධාරණයක් තියෙන්න ඕනේ'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මිය ගිය පුද්ගලයාගේ සහෝදරිය අප්‍රේල් 27 වන දින අදහස් දක්වමින් කියා සිටියේ, ඔවුන්ට මෙම සිදුවීම සම්බන්ධයෙන් නිසියාකාරයෙන් දැනුම්දීමක් සිදු නොකළ බව ය.
මිය ගිය පුද්ගලයාගේ සහෝදරිය වන ආර්.එම්.පී. රත්නාවලී මෙලෙස ඒ සම්බන්ධයෙන් විස්තර කළා ය.
"අයියා තමයි ඇතුළේ ඉන්නේ. ආර්.එම්.පී. තුෂාර සම්පත් කියන්නේ. අපේ වත්තට අයියා කෙනෙක් ඇවිල්ලා කිව්වා, 'මංජුට ගහලා තියෙනවා. මංජුව මරලා කියලා ආරංචියක් තියෙනවා, ගෙදර කෙනෙක් නැද්ද?' කියලා. පණිවිඩයක් ආව ගමන් මම මෙතනට ආවා, එතකොට 11.23යි. පැය භාගයක් ඇතුළත. මෙතන ඉඳලා බලන් හිටියා, මොකුත් නෑ විසිට් තුණ්ඩු දාන්න කිව්වා, අයිඩෙන්ටි නෑ කියලා තුණ්ඩු දාන්න බෑ කිව්වා," ඇය පවසයි.
"මෙතන ඉන්න ලොකු මහත්තයෙක්, අපි දන්නේ නෑ කවුද කියලා, ඉතා ඉක්මනින් හමුවෙන්න ඕනේ කියලා කිව්වා. අපි එයාට විස්තරේ කිව්ව ම මෙහෙම සිද්ධියක් එයාගේ මේසෙට ඇවිල්ලා නෑ, කොහොම ද ඕගොල්ලෝ ඔහොම කියන්නේ කියලා ඇහුවා. මම කිව්වා අපට ආව ආරංචිය හරි ඕගොල්ලෝ පොඩ්ඩක් බලලා දැනුම් දෙන්න කියලා."
පසුව ඔවුන්ට එවැනි සිදුවීමක් සිදුව ඇති බවට දැනුම් දී තිබිණි.
"සිදුවීමක් වෙලා තියෙනවා දෙන්නෙක් අතර ගැටලුවක් වෙලා තියෙනවා කියලා ඒගොල්ලෝ කියනවා හොස්පිටල් එකේ නවත්තලා කියලා, ඒ වෙලේ ම මගේ අයියගේ පණ ගිහිල්ලා තියෙනවා. මේකට සාධාරණයක් තියෙන්න ඕනේ, මේගොල්ලෝ මිනිය හොස්පිටල් එකේ තියෙනවා කියනවා, ඒකෙන් ගිහිල්ලා අහනකොට මිනිය මෙහෙ නෑ එහෙ කියලා කියනවා, කිසි ම කෙනෙක් සැලකිලිමත්ව කළේ නෑ. ගහලා, ඒ මදිවට තව කෙනෙක් හොස්පිටල් එකේ ඉන්නවා එයාගේ කකුල කැඩිලා," ඇය පවසයි.
"එයා බැඳලත් නෑ, සාධාරණයක් කරන්න කියලා තමයි ඉල්ලන්නේ. මම වැඳලා ඉල්ලන්නේ සාධාරණයක් කරන්න කියලා," මිය ගිය පුද්ගලයාගේ සහෝදරිය පැවසුවා ය.
'සිරකරුවන් දෙදෙනෙක් පරීක්ෂා කරන්න ගිය වෙලේ නිලධාරීන් අතර ඝට්ටනයක් ඇති වෙලා තියෙනවා'
මේ සම්බන්ධයෙන් බීබීසි සිංහල බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ද විමසීමක් සිදු කළ අතර, බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක අප වෙත පැවසුවේ, මේ සම්බන්ධයෙන් අභන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ය.
"එතන සිද්ධියක් වෙලා තියෙනවා. ඉන්සිඩන්ට් එකක් තියෙනවා. සිරකරුවන් දෙදෙනෙක් පරීක්ෂා කරන්න ගිය වෙලේ නිලධාරීන් අතර ඝට්ටනයක් ඇති වෙලා තියෙනවා. එතකොට ඒ ඝට්ටනය තුළ නිලධාරියා මේ වන විට 72 වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා. ඒක පාලනය කරන්න තවත් නිලධාරීන් කොටසක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිලධාරීන් ඒක පාලනය කිරීමේදී සැකකරුවන් දෙදෙනාට තුවාල වෙලා ගිහින් තියෙනවා වැලිකඩ බන්ධනාගාර රෝහලට. වැලිකඩ රෝහලේදී එක සැකකරුවෙක් මිය ගිහින් තියෙනවා," මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.
"ඒ සම්බන්ධව මහේස්ත්‍රාත් තුමා මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. ඒකට බොරැල්ල පොලිසියෙන් මේ වන විට නිලධාරීන් 5 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. නිලධාරීන් තුන් දෙනෙක් මේ වන විට අත්අඩංගුවට අරන් තියෙනවා. බන්ධනාගාර අභ්‍යන්තර පරීක්ෂණයක් සහකාර අධිකාරීවරයාගේ යටතේ මේ වන විට පවත්වාගෙන යනවා," ඔහු පවසයි.
එහිදී බීබීසී සිංහල විමසා සිටියේ එම අවස්ථාවේදී පහර දීමක් සිදුව තිබෙන්නේ ද? යන්න ය.
"මට ඒක කියන්න බෑ පහර දීමක් වුණා ද මිය යන්න හේතුව ඒක ද කියන එක. මට එහෙම හරියට වාර්තාවක් නැතුව කියන්න බෑ. මේ සිද්ධිය සම්බන්ධ වාර්තාව සහ අධිකරණ වෛද්‍යවරයාගේ නිර්දේශයක් දුන්නට පස්සේ තමයි මට කියන්න පුළුවන්," බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.
මේ අතර, අද දින මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිල්ලක් කරන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසීය.


































