විල්පත්තු එළිපෙහෙළි කිරීම: රිෂාඩ් බදියුදීන්ගේ පෙත්සම් විභාගයෙන් 5 වන විනිසුරුත් ඉවත්වෙයි

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 2

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාප ආසන්නයේ පිහිටී රක්ෂිත කැළෑ එළිකර එහි පුද්ගලයින් පදිංචි කිරීම පිළිබඳ නඩු තීන්දුව සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් ඉදිරිපත් කර තිබූ අභියාචනය සඳුදා (අප්‍රේල් 27) ඒ.එච්.එම්.ඩී. නවාස්, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහිදී විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සඳහන් කළේ, පෞද්ගලික හේතු මත තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත්වන බව ය.

ඒ අනුව වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම අභියාචනා පෙත්සම විභාගය සඳහා සැප්තැම්බර් මස 09 වන දා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළේ ය.

2015දී ඇරඹි මුල් නඩුව

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාප ආසන්නයේ පිහිටි රක්ෂිත කැළෑ එළිකර එහි පුද්ගලයින් පදිංචි කිරීම අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2015 වසරේ අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබී ය.

2020 වසරේදී එම පෙත්සම විභාග කොට එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය අදාළ ප්‍රදේශයේ කැළෑ එළි පෙහෙළි කිරීමේ කටයුතුවලට හිටපු අමාත්‍යවරයා බව කිව යුතු බවටත්, ඒ අනුව නැවත වන වගා කිරීම සඳහා වැය වන වියදම ඔහු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බවටත් නියෝගයක් නිකුත් කර තිබිණි.

රුපියල් කෝටි 106ක්

ඒ අනුව නැවත වන වගා කිරීමේ කටයුතු සදහා හිටපු අමාත්‍යවරයා රුපියල් කෝටි එකසිය හයක පමණ මුදලක් ගෙවිය යුතු බවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගණනය කර තිබිණි.

පෙත්සම් විභාගයෙන් ඉවත්වුණු විනිසුරුවරුන් කවුද?

ඉහත කී අභියාචනාධිකරන තීන්දුව නීතියට පටහැනි බවත් ඒ අනුව එය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කරනු ලැබුවේ, 2020 වසරේදී ය.

මෙම පෙත්සම් විභාගයෙන් මීට පෙර මහින්ද සමයවර්ධන, යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ද ඉවත් වූහ.

ඒ අනුව, ඒ.එච්.එම්.ඩී. නවාස් එම පෙත්සමෙන් ඉවත්වූ 5 වන විනිසුරුවරයා වේ.