කොරියානු නළු කිම් සූ හ්‍යුන්ට ව්‍යාජ චෝදනා එල්ල කළ බව කියන යූ ටියුබර් අත්අඩංගුවට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ජේක් ක්වොන්
- Role, සෝල් වාර්තාකරු
- Author, කෝ ඊව්
- Role, සිංගප්පූරුවේ සිට
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
ජනප්‍රිය කොරියානු නළු කිම් සූ හ්‍යුන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන කිම් සේ උයි දකුණු කොරියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
හෝවර් ලැබ් [Hover Lab] යූටියුබ් නාලිකාව පවත්වාගෙන යන කිම් සේ උයි, කිම් සූ හ්‍යුන් සියදිවි නසා ගත් කිම් සේ රොන් බාලවයස්කාරියකව සිටියදී ඇය සමග පෙම් සබඳතාවක් පැවැත්වූ බවට ප්‍රකාශ කිරීමට අසත්‍ය සහ විකෘති කළ සාක්ෂි බවට පොලිසිය සහ නීතිඥයෝ චෝදනා කරති.
සාක්ෂි විනාශ කිරීමට හෝ පලා යාමට ඉඩ ඇති බවට සැක කරමින් සෝල් මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය යූ ටියුබ් නාලිකා හිමිකරු අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් නිකුත් කළේ ය.
බදාදා [මැයි 27] නිවේදනයක් නිකුත් කරමින් කිම් සූ හ්‍යුන්ගේ නීති ඒජන්සිය පැවසුවේ, "සත්‍යය තහවුරු වී ඇති" බව ය.
"කිම් සූ හ්‍යුන්ට එරෙහිව හෝවර් ලැබ් නාලිකාව විසින් මතු කරන ලද සියලු සැකයන් සහ සාක්ෂි පදනම් විරහිත බව විමර්ශනයෙන් තහවුරු විය," යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් වූ අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටි ආධාරකරුවන්ට ද ස්තූති කර තිබේ.
අධිකරණ තීන්දුවට පෙර අඟහරුවාදා [මැයි 26] අධිකරණයෙන් පිටත මාධ්‍යවේදීන් අමතමින්, ප්‍රශ්නගත යූ ටියුබර් කිම් සේ උයි චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, මෙම වරෙන්තුව "මූලික කරුණු නිසි ලෙස ගොනුකර නොමැති එකක්" යනුවෙන් පැවසීය.
තමා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටි පොලිසියට සහ නඩු පවරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පැවසීය.
'AI මගින් සැකසූ ව්‍යාජ සාක්ෂි'
බලධාරීන් පවසන්නේ මෙම යූ ටියුබර් විසින් කෙටි පණිවිඩවල 'Screenshot' සංස්කරණය කර, AI හරහා නිර්මාණය කරන ලද හඬ පට පළ කිරීම මගින්, නිළියක වූ කිම් සේ රොන් බාලවයස්කාරියකව සිටියදී, ඇය සමග මෙම රංගන ශිල්පියා පෙම් සබඳතාවක් පැවැත්වූ බවට හැඟීමක් ඇති කර ඇති බව යි.
පසුගිය වසරේ, 24 හැවිරිදි කිම් සේ රොන් සියදිවි නසා ගැනීමෙන් ටික කලකට පසු මෙම චෝදනා ඉස්මතු විය.
මෙම අපකීර්තිය රට ම කම්පනයට පත් කළ අතර දකුණු කොරියාවේ වඩාත් ප්‍රසිද්ධ නළුවෙකු වන කිම් සූ හ්‍යුන්ගේ වෘත්තීය ජීවිතයට එය දැඩි ලෙස බලපෑවේ ය. ඔහු එම චෝදනා නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, WireImage
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කිම් සේ රොන්ගේ මරණයෙන් මාස කිහිපයකට පසුව, තමා ද්වීතික පාසලේ සිටි කාලයේ පටන් ම කිම් සූ හ්‍යුන් සමග සම්බන්ධතාවයක් පැවැත්වූවේ යැයි ඇය පවසන බව කියවෙන හඬපටයක් මෙම යූ ටියුබර් විසින් අන්තර්ජාලයේ පළ කළේ ය.
මිලියනයකට ආසන්න අනුගාමිකයින් සංඛ්‍යාවක් සිටින යූ ටියුබර් කෙනෙකු වන කිම් සේ උයි, කිම් සූ හ්‍යුන් සහ කිම් සේ රොන් අතර සංවාද යැයි කියන පණිවිඩවල Screenshot ද බෙදා ගත්තේ ය.
බලධාරීන් දැන් පවසන්නේ හඬ පටය AI මගින් නිර්මාණය කර ඇති බව යි.
කිම් සේ රොන්ගේ දුරකථනයෙන් ලැබුණු පණිවිඩවල screenshot යූ ටියුබර් විසින් සංස්කරණය කර, ඇය කිම් සූ හ්‍යුන් සමග කෙටි පණිවිඩ හුවමාරු කර ගත් බවට ව්‍යාජ ලෙස ඇඟවීමට උත්සාහ කර ඇති බව ද බලධාරීහු පවසති.
බලධාරීන් පවසන්නේ, යූ ටියුබර් විසින් සිතාමතා ම මූල්‍යමය වාසි තකා අසත්‍ය ප්‍රකාශ පතුරුවා හරිනු ලැබ ඇති බව යි.
ජූංග්ඇං ඉල්බෝ ප්‍රවෘත්ති ආයතනය විසින් වාර්තා කරන ලද පොලිස් ලේඛනයක, ඔහුගේ ක්‍රියාවන් "කිම් සූ හ්‍යුන්ගේ සමාජීය පදනම සහ ඔහුගේ ආර්ථික ක්‍රියාකාරකම් බිඳ දැමූ අතර, ඔහුගේ වෘත්තීය පැවැත්මේ පදනම විනාශ කළේ ය," යනුවෙන් සඳහන් වේ.
කිම් සූ හ්‍යුන් "තවමත් මනෝචිකිත්සක ප්‍රතිකාර ලබමින් සිටින" බව ද පොලිසිය පවසයි.
බලධාරීන්ගේ චෝදනා "තම විමර්ශනය කඩාකප්පල් කිරීමට කරන ලද ප්‍රයෝගයක්" බව පවසමින් යූ ටියුබර් කිම් සේ උයි වීඩියෝවක් පළ කර තිබේ.
දකුණු කොරියාවේ ප්‍රසිද්ධ පුද්ගලයන්ට උසස් සම්මතයන් පනවා ඇති අතර ඔවුන් දැඩි සමාජ පරීක්ෂාවකට ලක් කෙරේ. ලිංගික හිංසා වැනි බරපතළ චෝදනා වලට අමතරව, යෞවන වියේදී කෙනෙකුට පීඩාවන් කළ බව හෙළි වීම හෝ ව්‍යාජ සන්නාම සහිත ඇඳුම් භාවිතා කළ බව හෙළි වීම වැනි කරුණු හේතුවෙන්ද, ප්‍රසිද්ධ පුද්ගලයන්ට මහජන අවධානයෙන් අතුරුදහන් වීමට බලපෑම් කෙරී ඇත.
2022 දී බීමතින් රිය පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඩ නියම කිරීමෙන් පසු කිම් සේ රොන්ට ද රසිකයන්ගෙන් අන්තර්ජාලය තුළ දැඩි විවේචන එල්ල විය. ඊට පෙර, ඇය දකුණු කොරියාවේ නැගීගෙන එන තරුණ නිළියන්ගෙන් කෙනෙකු ලෙස සැලකුණි.
ඇයගේ මරණයෙන් ටික කලකට පසු, කිම් සූ හ්‍යුන් ඇයට වයස අවුරුදු 15 දී ඇය සමග පෙම් සබඳතාවක් පැවැත්වූ බවට කටකතා අන්තර්ජාලය හරහා පැතිර ගියේ ය. මෙම යූ ටියුබර්, කෙටි පණිවිඩ සහ හඬ පට පළ කිරීමෙන් පසුව සහ නිළියගේ පවුලේ අය ප්‍රසිද්ධියේ යූ ටියුබර් වෙත සහාය දැක්වීමෙන් පසුව ඒවාට විශාල අවධානයක් ලැබිණි.
කිම් සූ හ්‍යුන්ගේ ඒජන්සිය පළමුව මෙම චෝදනා ප්‍රතික්ෂේප කළේ මෙම යුවළ කිසිදා පෙම් සබඳතාවක් පවත්වා නොමැති බවට පවසමින් ය.
කෙසේවෙතත් ඇය වැඩිහිටියෙකුව සිටියදී ඇය සමග වසරක සම්බන්ධතාවයක් පැවැත්වූ බවට මෙම නළුවා පිළිගත්තේ ය.
2025 මාර්තු මාසයේ පැවති මාධ්‍ය හමුවකදී, මෙම නළුවා කඳුළු සලමින් අවධාරණය කළේ ඇය බාලවයස්කාර වියේදී ඔවුන් කිසිදා පෙම් සබඳතාවක් පවත්වා නොමැති බව යි. "මම කරපු නැති දෙයක් මට පිළිගන්න බෑ," ඔහු පැවසීය.
එම මාසයේ දී, ඔහු අසත්‍ය චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් යූ ටියුබර්ට සහ නිළියගේ පවුලේ අයට එරෙහිව අපරාධ පැමිණිලි සහ නඩු පැවරුවේ ය.
එතැන් සිට, ජනප්‍රිය රූපවාහිනී නාට්‍ය සහ වෙළඳ දැන්වීම් කිහිපයකම රඟපෑ කිම් සූ හ්‍යුන් නිල වශයෙන් ප්‍රසිද්ධියේ පෙනී සිට නැත.
මෙම චෝදනා ඔහුට එල්ල වන විට ඔහු සම්බන්ධ වී සිටි සිටි Disney+ මාලාවක් වන Knock-Off නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල් දැමිණි.

































