දියර කිරි, සබන් සහ සනීපාරක්ෂක තුවාවලට අලුත් ම නීති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
පාරිභෝගික භාණ්ඩ කිහිපයකට අදාළව නව නීති හඳුන්වා දීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.
ඒ අනුව සබන්, සැකසු දියර කිරි සහ සනීපාරක්ෂක තුවා සම්බන්ධව මෙසේ නව රෙගුලාසි කිහිපයක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.
සබන් ඇසුරුමේ හෝ ලේබලයේ සටහන් කළ යුතු අනිවාර්ය කරුණු මොනවා ද?
සබන් නිෂ්පාදන සඳහා නව ලේබල් නීති හඳුන්වා දී ඇති අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද විධානයට අනුව සබන් නිෂ්පාදනවල ඇසුරුම හෝ ලේබලය මත අනිවාර්යෙන් සඳහන් කළ යුතු නව තොරතුරු හඳුන්වා දී ඇත.
ළදරු සබන්, ඇඟ ගල්වන සබන්, රැවුල බෑමේ සබන්, කාබොලික් සබන්, රෙදි සෝදන සබන්, බේදින් බාර් සහ මෘදු සබන් සඳහා නව නීති හඳුන්වා දී ඇති අතර එම එක් එක් සබන් වර්ගවලට අදාළව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිති සහතික ලබා ගැනීම ද අනිවාර්ය වේ.
එමෙන්ම, ඉහත සඳහන් සබන් වර්ගවල නිෂ්පාදන නාමය තද අකුරින්, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ප්‍රධාන මුහුණතෙහි සඳහන් කළ යුතු ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇසුරුම් කරන ලද නිෂ්පාදනවල ස්කන්ධය අනුව මුළු මේද ද්‍රව්‍ය ප්‍රතිශතය ලේබලය මත පැහැදිලිව සහ කැපී පෙනෙන ලෙස සඳහන් කළ යුතු අතර එම තොරතුරු මුද්‍රණය කිරීමේදී අවම වශයෙන් මිලිමීටර් 2ක තද අකුරු භාවිත කළ යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියෝග කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සබන් වර්ග සඳහා නිකුත් කරන ලද එම විධානය 2027 වසරේ ජූලි 09 වෙනිදා සිට ක්‍රියාත්මක වන අතර එදින සිට නියමිත තොරතුරු ඇසුරුම හෝ ලේබලය මත සඳහන් කර නොමැති අදාළ සබන් නිෂ්පාදන ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම, තොග හෝ සිල්ලර වශයෙන් විකිණීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම නොකළ යුතු බව එම අධිකාරිය අවධාරණය කර ඇත.
සකසන ලද දියර කිරිවල ඇෆ්ලැටොක්සින් මට්ටමට දැඩි සීමා
මෙරට ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සහ පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් සකස් කරන ලද දියර කිරි සඳහා නව ප්‍රමිතී හඳුන්වා දීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ.
එම අධිකාරිය නිකුත් කරන ලද අංක 98 දරන විධානය අනුව, සැකසු දියර කිරිවල අඩංගු ඇෆ්ලැටොක්සින් (Aflatoxin) මට්ටම සඳහා දැඩි සීමාවක් හඳුන්වා දී ඇත.
නව නීතිය අනුව ශ්‍රී ලංකාව තුළ විකුණනු ලබන හෝ බෙදා හරිනු ලබන සියලුම සකස් කරන ලද දියර කිරි, SLS 1815 ප්‍රමිතියට අනුව, කිලෝග්‍රෑමයකට මයික්‍රොග්‍රෑම් 0.5 (0.5 µg/kg හෙවත් ppb) ක උපරිම ඇෆ්ලැටොක්සින් මට්ටමට අනුකූල විය යුතුය.
මෙම ආරක්ෂිත සීමාව ඉක්මවා සකස් කරන ලද දියර කිරි නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, ඇසිරීම, ගබඩා කිරීම සහ විකිණීම සම්පුර්ණයෙන්ම තහනම් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ දැක්වේ.
මෙම නව විධානය 2027 වසරේ ජනවාරි 08 වැනිදා සිට අනිවාර්යෙන්ම ක්‍රියාත්මක අතර සියලුම නිෂ්පාදකයින්, ආනයනකරුවන් සහ සිල්ලර වෙළෙන්දන් එම දිනයට පෙර අදාළ ප්‍රමිතීන්ට අනුකූල වීම තහවුරු කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරයි.
සනීපාරක්ෂක තුවාවල තිබිය යුතු ප්‍රමිතිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය 2026 ජූලි මස 26 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන ලද SLS 1732 සහ SLS 1748 ප්‍රමිති සහතික නොමැති සනීපාරක්ෂක තුවාවලට තහංචි පනවා තිබේ.
දේශියව නිෂ්පාදනය කරන ලද හෝ විදේශයකින් ආනයනය කරන ලද සනීපාරක්ෂක තුවා සඳහා එම ප්‍රමිති සහතික අනිවාර්ය වේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විසින් නිකුත් කරනු ලබන එම ප්‍රමිති සහතික නොමැති තනි භාවිත සනීපාරක්ෂක තුවා හෝ අති තුනී, සිහින් සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම, ඇසිරීම, බෙදා හැරීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද අංක 99 දරන විධානය මගින් ගෙන ඇති එම තීරණයට අනුව ඉහත කටයුතු සිදුකිරීම 2026 ඔක්තෝබර් 08 වැනිදා සිට සම්පූර්ණයෙන්ම තහනම් වේ.

































