වැරදි සෞඛ්‍ය උපදෙස් ලබා දී වැඩිහිටි YouTube පරිශීලකයින් ගොදුරු කරගන්නා ව්‍යාජ AI වෛද්‍යවරු

An AI-generated image of a doctor shows him sat in a white lab coat with a stethoscope around his neck. He has dark hair and a beard and looks directly into the camera. Behind him is a picture of an elderly person's hand on a keyboard while holding a credit card. Between the two images is a blue semi-transparent cross.

ඡායාරූප මූලාශ්‍රය, @Dr.Rafael Costa/YouTube

ඡායාරූප ශීර්ෂ වැකිය, වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින AI මගින් නිර්මාණය කළ "වෛද්‍ය රෆායෙල් කොස්තා"
    • Author, ලුවිස් ෆර්නැන්ඩෝ ටොලෙඩෝ
    • Role, බීබීසී බ්‍රසීල සේවය
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

82 හැවිරිදි සෙලි ෆෙරෙයිරා යූටියුබ්හි වීඩියෝවක් නරඹමින් සිටියදී තිරය මත දිස් වූ වෛද්‍යවරයෙකු, පලතුරු ආහාරයට ගැනීමෙන් ඇයට ඇගේ ඇස්වල පෙනීම ආරක්ෂා කර ගත හැකි බව යෝජනා කළේ ය. එය සාධාරණ ප්‍රකාශයක් බව ඇයට සිතුණා ය.

නමුත් මෙය සැබෑ වෛද්‍ය උපදෙස් ලබා දෙන නාලිකාවක් නොවූ අතර එම වෛද්‍යවරයා ද සැබෑ කෙනෙකු නොවිණි - ඔහුගේ මුහුණ සහ හඬ කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කර තිබිණි.

යූටියුබ් විසින් එය කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය කරන ලද වීඩියෝවක් ලෙස ලේබල් කර තිබුණ ද, වීඩියෝවට නැරඹුම් වාර 300,000කට ආසන්න ගණනක් සහ කමෙන්ට්ස් සිය ගණනක් ලැබී තිබිණි. මෙම ලේබලය තිබියදීත් ඇය සැබෑ වෛද්‍යවරයෙකුට සවන් දෙන බවට ඇය විශ්වාස කළ බව ෆෙරෙයිරා බීබීසීයට පැවසුවා ය.

මෙය හුදකලා සිදුවීමක් නොවේ - AI මගින් නිර්මාණය කළ වෛද්‍යවරුන් භාවිත කරමින් අවම වශයෙන් නැරඹුම් වාර මිලියන 70ක් සහිත පෘතුගීසි භාෂාවෙන් මෙහෙයවන නාලිකා 29ක් පිළිබඳව විමර්ශනයක් මගින් හඳුනාගෙන තිබේ.

තව ද මෙහි ගෝලීය ව්‍යාප්තියක් තිබේ - පෘතුගීසි, ඉංග්‍රීසි, හින්දි, ස්පාඤ්ඤ, ප්‍රංශ, ඉතාලි, පෝලන්ත, ජර්මානු සහ තුර්කි ඇතුළු භාෂාවලින් AI වෛද්‍යවරුන් සහිත වීඩියෝ නිර්මාණය කරන ආකාරය උගන්වන YouTube නාලිකා අවම වශයෙන් 50ක් පමණ බීබීසී බ්‍රසීල සේවය හඳුනාගෙන තිබේ.

මෙම නිර්මාණකරුවෝ, වැඩිහිටි ප්‍රේක්ෂකයින් ලාභදායී කොටසක් ලෙස දකින අතර - වීඩියෝ නැරඹීමට නිදහස් කාලයක් සහ නිෂ්පාදන මිල දී ගැනීමට වැය කළ හැකි ආදායමක් ඔවුන් සතුව ඇතැයි විශ්වාස කරති.

සිය රූපය අනිසි ලෙස භාවිත කිරීමකට ලක්වූ සැබෑ වෛද්‍යවරයෙකු අනතුරු අඟවන්නේ, ව්‍යාජ වෛද්‍යවරුන් ලබා දෙන උපදෙස් බරපතළ බලපෑමක් ඇති කළ හැකි බව සහ "වැඩිහිටියන්ට මාරාන්තික හානියක් සිදුවිය හැකි" බවයි.

කෘත්‍රිම බුද්ධියෙන් ජනනය කරන ලද අන්තර්ගතවලට ද තම නීති අදාළ යැයි යූටියුබ් හිමිකාරීත්වය දරන ගූගල් සමාගම පැවසූ අතර සැබෑ ලෝකයේ බරපතළ හානියක් සිදු කළ හැකි වැරදි වෛද්‍ය තොරතුරු එම නීති යටතේ තහනම් කර ඇති බව ද පැවසීය.

Celi Ferreira sits on a dark blue couch smiling at the camera with her hands on either side of her. She is wearing beige trousers and cardigan, and a black and white polka dot top. She wears glasses and has short brown hair.

ඡායාරූප මූලාශ්‍රය, Celi Ferreira

ඡායාරූප ශීර්ෂ වැකිය, සෙලී ෆෙරෙයිරා පැවසුවේ, එම වීඩියෝවේ දුටු වෛද්‍යවරයා සැබෑ පුද්ගලයෙකු බව තමන් විශ්වාස කළ බවයි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම වීඩියෝවල රටාව සරල ය - සුදු කබායක් ඇඳගත් විශ්වාසය ඇති කරනවනසුලු පෙනුමක් සහිත මුහුණක්, සන්සුන් කෘත්‍රිම හඬකින්, එදිනෙදා ලබා ගන්නා ආහාරයක්, ඖෂධයක් හෝ පුරුද්දක් වැඩිහිටියන්ගේ සෞඛ්‍යයට නිහඬව තර්ජනයක් විය හැකි බවට අනතුරු අඟවයි. ඉන්පසු, මෙතෙක් අවධානයට ලක් නොවූ බව කියන ප්‍රතිකාරයක් ද ඉදිරිපත් කරයි.

සමහර අවස්ථාවලදී මෙම වෛද්‍යවරු සම්පූර්ණයෙන් ම කෘත්‍රිමව නිර්මාණය කළ චරිත වෙති. තවත් අවස්ථාවලදී, සැබෑ වෛද්‍යවරුන්ගේ මුහුණ, හඬ හෝ අනන්‍යතාව ඔවුන්ගේ අවසරයකින් තොරව AI මගින් අනුකරණය කරයි. මෙම දෙවර්ගය ම, සුදුසුකම් ලත් වෛද්‍යවරයකු අදාළ වෛද්‍ය උපදෙස් ලබා දෙන බවට ප්‍රේක්ෂකයන් තුළ හැඟීමක් ඇති කළ හැකි ය

කෘත්‍රිම බුද්ධිය මගින් ජනනය කරන ලද වෛද්‍යවරුන් භාවිත කරමින් ක්‍රියාකරන පෘතුගීසි භාෂාවෙන් මෙහෙයවන නාලිකා 29ක් පිළිබඳ බ්‍රසීලයේ ලාභ නොලබන මාධ්‍ය සංවිධානයක් වන CTRL+Z විසින් නිකුත් කරන ලද වාර්තාවකින් අනාවරණය විය. බීබීසී බ්‍රසීල සේවය ඊට සමාන මාතෘකා සහිත වෙනත් නාලිකා සහ ඒවායේ ක්‍රියාකාරී රටාවන් හඳුනා ගැනීමට මේවා සමාලෝචනය කළේ ය.

මෙම යූටියුබ් නාලිකාවල වීඩියෝවල පළ කර තිබූ කමෙන්ට්ස් 27,000කට ආසන්න සංඛ්‍යාවක් විශ්ලේෂණය කරමින්, පරිශීලකයන් තමන්ගේ හැසිරීම්වල සිදුවූ වෙනස්කම් පිළිබඳ සඳහන් කර තිබූ අවස්ථා හඳුනාගැනීමෙන් අපි ෆෙරෙයිරා සොයා ගත්තෙමු.

වැඩිහිටි පුද්ගලයන් බව පවසන පුද්ගලයින් විසින් තබන ලද කමෙන්ට්ස් රැසක දැක්වෙන්නේ, කෘත්‍රිම බුද්ධි‍ වෛද්‍යවරුන් ලබා දුන් උපදෙස් අනුව ඔවුන් නිවසේදී ම ප්‍රතිකාර ආරම්භ කිරීම හෝ මීට පෙර නිර්දේශිත ඖෂධ භාවිතය නතර කිරීම සිදු කර ඇති බවයි.

ඉන් එකක, තමන් වයස අවුරුදු 85ක් යැයි පවසන පරිශීලකයෙකු පවසන්නේ ආමාශයේ අම්ල නිෂ්පාදනය අඩු කරන ඖෂධයක් වන 'omeprazole' වෙනුවට ඔහු 'බතල' භාවිතයට මාරු වූ බවයි. තවත් අවස්ථාවක, 77 හැවිරිදි කාන්තාවක් පවසන්නේ තමන් වසර තුනක් පුරාවට වෛද්‍යවරයෙකු හමුවට ගොස් නොමැති බවත් ඇල්සයිමර් පිළිබඳ උපදෙස් ලබා දීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධි වෛද්‍යවරයාට ස්තූතිවන්ත වන බවත් ය.

A screenshot of a YouTube search shows three videos in the results that are guides on how to create AI-generated content for older people

ඡායාරූප මූලාශ්‍රය, YouTube

ඡායාරූප ශීර්ෂ වැකිය, වැඩිහිටි පුද්ගලයන් ඉලක්ක කරගත් AI මගින් නිර්මාණය කරන සෞඛ්‍ය අන්තර්ගත සකස් කරන ආකාරය පැහැදිලි කරන වීඩියෝ (tutorials) YouTube තුළ භාෂා කිහිපයකින් සොයාගත හැකි ය

බීබීසී බ්‍රසීල සේවය විසින් සොයා ගන්නා ලද යූටියුබ් ඉගැන්වීම්වල [YouTube tutorials], නරඹන්නා තමන්ට වහා ම මුහුණ දීමට සිදුව ඇති සෞඛ්‍ය අවදානමක් තිබෙන බව විශ්වාස කරන ආකාරයට, බිය සහ හදිසි අවශ්‍යතාවක් ඇති කරන මාතෘකා සහ පිටපත් නිර්මාණය කරන ලෙස උපදෙස් දී තිබේ.

නිර්මාණකරුවෝ යූටියුබ් වීඩියෝ නැරඹුම් වාරවලින් මෙන් ම, එම නාලිකාවල ප්‍රචාරණය කරන විද්‍යුත් පොත් [e-books] සහ නිෂ්පාදන අලෙවියෙන් ද මුදල් උපයති. බ්‍රසීලයේ සිටින එක් උපදේශකයෙකු වන ජෙෆි කොයිම්බ්‍රා පැවසුවේ, නිර්මාණකරුවන්ට මසකට බ්‍රසීලියානු මුදලින් 30,000ක් (ඩොලර් 5,816ක්) දක්වා උපයාගත හැකි බවයි.

තවත් වීඩියෝවකදී ඔහු අනතුරු ඇඟවීමේ ස්වරයක් භාවිත කරන ආකාරය පෙන්වා දෙමින්, "ඇත්තට ම බිය උපදවන ආකාරයට කියන්න" යන අදහසින් උදාහරණයක් දුන්නේ ය. ඔහු එහිදී, "නින්දට යන්න කලින් මේ ගැන සැලකිලිමත් වෙන්න. නින්දේ දීම මිය නොයන්න වගබලාගන්න" යනුවෙන් පැවසීය.

බීබීසී පුවත් බ්‍රසීල කණ්ඩායම ඔහු හා සම්බන්ධ වීමෙන් පසුව, එම වීඩියෝවලින් එකකට තිබූ මහජන ප්‍රවේශය අවහිර කළේ ය.

නිවේදනයක් නිකුත් කරමින් කොයිම්බ්‍රා පැවසුවේ, විමර්ශනය මගින් පෙන්වා දී ඇති කෘත්‍රිම බුද්ධි නාලිකා ඔහුගේ ම ඒවා නොව උදාහරණ වූ බවයි. ඔහු පැවසුවේ කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් තොරතුරුමය අන්තර්ගත නිර්මාණය කරන ආකාරය තමන් උගන්වන බවත්, සෞඛ්‍ය වෘත්තිකයන් වෙනුවට ආදේශ වීමට අදහස් කරන අන්තර්ගත නිර්මාණය කිරීම තම අරමුණ නොවන බවත් ය. එමෙන් ම, වේදිකාවේ නීති හෝ වෙනත් ප්‍රමිතීන් උල්ලංඝනය කිරීමට කිසිවකු දිරිගැන්වීම තම අරමුණ නොවූ බව ද ඔහු සඳහන් කළේ ය.

'සහකම්පනයක් නැහැ'

නිර්දේශිත ඖෂධ වෙනුවට භාවිත කළ හැකි බව කියන බිය උපදවන සෞඛ්‍ය ප්‍රකාශ සහ ස්වාභාවික ප්‍රතිකාර ප්‍රවර්ධනය කිරීම සඳහා, ප්‍රසිද්ධ බ්‍රසීලියානු වෛද්‍යවරයකුගේ රුව ඔහුගේ අවසරයකින් තොරව භාවිත කරන යූටියුබ් නාලිකා අවම වශයෙන් පහක් අපි හඳුනාගත්තෙමු.

දිගු කලක සිට යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන, ග්‍රාහකයන් සංඛ්‍යාව ලක්ෂ 3කට ආසන්න හේලියෝ බ්‍රසීලියරෝ, මේ වනවිට එම වීඩියෝ සම්බන්ධයෙන් යූටියුබ් වෙත පැමිණිලි කර ඇති අතර, සාඕ පවුලෝ පොලිසියට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඔහුගේ රුව අවසරයකින් තොරව භාවිත කිරීම හැරුණු විට, ඔහු පැවසුවේ ප්‍රධාන වශයෙන් ම තමන් මීට සම්බන්ධ යැයි දැකීමෙන් වැඩිහිටි ප්‍රේක්ෂකයන් ඖෂධ ගැනීම නතර කරනු ඇතැයි යන බිය තමන්ට ඇති බවයි.

"මේවා හදන කාට වුණනත් කිසි ම සහකම්පනයක් නැහැ," ඔහු බීබීසී බ්‍රසීල සේවය වෙත පැවසීය. "මේ ආකාරයෙන් මුදල් ඉපැයීමට උත්සහ කිරීම වැඩිහිටියන්ට මාරාන්තික හානියක් වෙන්න පුළුවන්."

"විශාලතම අවදානම තමයි රෝගීන් කිසිදු ප්‍රතිඵලයක් ලබා නොදෙන ද්‍රව්‍ය ලබා ගැනමයි. එමගින් ඔවුන්ගේ රෝගී තත්ත්වය තවදුරටත් උග්‍ර විය හැකි හෝ රෝග විනිශ්චය කිරීම පවා ප්‍රමාද විය හැකියි," සාඕ පවුලෝහි Albert Einstein Israelite Hospitalහි ආමාශ හා අන්ත්‍ර රෝග විශේෂඥ වෛද්‍ය ජේමී සලාඩෙක් ගිල් පවසයි.

"අවශ්‍ය දේ තමයි නිසි වෛද්‍ය පරීක්ෂණයක් සහ වඩා හොඳ රෝග විනිශ්චය ජාලයක් මිස යම් කිසි දෙයක් ඔබගේ සියලු ගැටලු විසඳන බව ප්‍රකාශ කරන වීඩියෝවක් නෙවෙයි," ඔහු පවසයි.

An AI-generated version of Hélio Brasileiro shows him sat a desk wearing a white lab coat, blue shirt and a blue striped tie.

ඡායාරූප මූලාශ්‍රය, YouTube/Dr. Hélio – MedInformações

ඡායාරූප ශීර්ෂ වැකිය, හේලියෝ බ්‍රසීලියරෝගේ (ඡායාරූපයේ දැක්වෙන) AI මගින් නිර්මාණය කළ රූපයක් (avatar) ඔහුට කිසිදු සම්බන්ධයක් නොමැති ව්‍යාජ නාලිකා විසින් භාවිත කරනු ලැබේ

බ්‍රසීලයේ නීති විශේෂඥයින් පවසන්නේ, වෛද්‍යවරුන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටීන නිර්මාණකරුවන්ට එරෙහිව අපරාධ නඩු පැවරීමේ අවදානමක් ඇති බවයි.

යූටියුබ් හිමිකාරීත්වය දරන ගූගල් සමාගම පැවසුවේ, එහි නීති කෘත්‍රිම බුද්ධිය මගින් ජනනය කරන ලද අන්තර්ගතයන්ට අදාළ වන අතර ලෝක‍යට බරපතළ හානියක් ඇති කළ හැකි සාවද්‍ය වෛද්‍යමය තොරතුරු තහනම් කරන බවයි.

සමාගම පැවසුවේ අන්තර්ගතය වෙනස් කර ඇති විට හෝ කෘත්‍රිම බුද්ධිය මගින් ජනනය කර ඇති විට නරඹන්නන්ට එය තේරුම් ගැනීමට ලේබල උපකාර වන බවයි.

CTRL+Z කළ අධ්‍යයනය සම්බන්ධයෙන් බීබීසී බ්‍රසීල සේවය, සමාගම සම්බන්ධ කර ගැනීමෙන් අනතුරුව යූටියුබ් මගින් එම නියැදියට අයත් විශාලතම නාලිකා කිහිපයක් ඉවත් කරන ලදී. ඒවා සතුව පැවති නැරඹුම් වාර ගණන මිලියන 41ක් පමණ විය.

මේ අතර, සෙලී ෆෙරෙයිරා පැවසුවේ, ඇය අන්තර්ජාලයේ දකින්නේ මොනවා ද යන්න වඩා හොඳින් හඳුනා ගැනීමට ඇයට අවශ්‍ය බවයි.

"මගේ වයසේ හැටියට මට පරිගණක භාවිතයේදී තරමක් දැනුමත් තියෙනවා කියලා මම හිතනවා, ඒත් කෘත්‍රිම බුද්ධිය කියන්නේ මොකක් ද සහ සැබෑ දේ මොකක් ද කියලා හඳුනා ගන්නේ කොහොම ද කියලා මම තාම දන්නේ නැහැ," ඇය පැවසුවා ය.