IPL: පෙරළිකාර අඛණ්ඩ ජයග්‍රහණ දෙකක් සඳහා RCB කණ්ඩායම තුළ සිදුකළ වෙනස්කම් මොනවා ද?

RCB became IPL champions for the second time by defeating Gujarat Titans on Sunday. ඉරිදා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජය කරමින් RCB කණ්ඩායම දෙවන වරටත් IPL ශූරයන් බවට පත්විය.

ඡායාරූප මූලාශ්‍රය, ANI

    • Author, ප්‍රවීන්
    • Role, බීබීසී වාර්තාකරු
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

"දුෂ්කර කාලයන් ගැන කරදර නොවන්න

දුෂ්කරතා ඔබව ශක්තිමත් කරයි."

මහ්ෆුසුර් රහ්මාන් ආදිල්ගේ මෙම පද දෙපෙළ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු රසිකයින්ට හොඳින් ගැලපෙයි.

"E Saala Cup Namde" ("මේ අවුරුද්දේ කුසලානය අපේ") යන වාක්‍ය ඛණ්ඩය බොහෝ අවස්ථාවලදී RCB රසිකයන් හාස්‍යයට ලක් කිරීමට භාවිතා කළේ ය.

වසර 17ක් අසාර්ථක වීම නිසා, සමාජ මාධ්‍ය හරහා RCB කණ්ඩායමට සහ ඔවුන්ගේ රසිකයින් හාස්‍යයට ලක් කරන සටහන් රාශියක් ගලා ආවේ ය.

නමුත් දැන් ඒ සියල්ල වෙනස් වී ඇත. RCB කණ්ඩායම පසුගිය වසරේ IPL ශූරතාව දිනා ගත් අතර ඔවුහු මේ වසරේදී ද එය සාර්ථකව තමන් සතු කර ගැනීමට සමත්වූහ.

පීඩනය යටතේ කඩා වැටෙන කණ්ඩායමක් ශූරයන් දක්වා පරිවර්තනය වීම පහසු නොවූ අතර, පසුගිය වසර දෙක තුළ RCB කණ්ඩායමේ වෙනස් වූ දේ සඳහා මූලික වූ දේ ඔවුන්ගේ දෙවන ශූරතාවයෙන් පසු විරාත් කෝලිගේ වචනවලින් සොයාගත හැකි ය.

"දුෂ්කර අවස්ථාවලදී කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වීමට හෝ වගකීම භාර ගැනීමට ඉදිරියට පැමිණීමට සිටින එක ම ක්‍රීඩකයා ඔබ පමණක් යැයි නොසිතා වගකීම බෙදා ගන්නා කණ්ඩායමක කොටසක් වීමට හැකිවීම සතුටක්," විරාත් කෝලි පැවසීය.

ජනප්‍රිය ක්‍රීඩකයින් වටා ගොඩනැගුණු කණ්ඩායම

විරාත් කෝලි සහ AB ඩිවිලියර්ස් එකිනෙකාට සුබ පතමින්.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, RCB ශූරයන් වීම දැකීමට විරාත් කෝලි සහ AB ඩිවිලියර්ස්ට බොහෝ කාලයක් බලා සිටීමට සිදු විය. ඩිවිලියර්ස් කණ්ඩායමේ සාමාජිකත්වය දැරූ සමයේ විශිෂ්ට ක්‍රීඩකයින් රැසක් ක්‍රීඩා කළ ද ඔවුන්ට ශූරතාව හිමි කර ගැනීමට වාසනාවක් නොලැබිණි.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඔබව නිර්වචනය කරන දෙය ඔබේ දුර්වලතාව බවට පත්විය හැකි ය. පුදුමයට කරුණක් නම්, මෙම අවාසනාව වසර ගණනාවක් පුරා RCB සමග බද්ධ වී පැවතීම ය.

සීමිත පන්දු වාර තරගවල සුපිරි ක්‍රීඩකයින්ගෙන් කෙනෙකු වන විරාත් කෝලි ආරම්භයේ සිට ම RCB කණ්ඩායම සමග රැඳී සිටියේ ය.

ඔහු සමග, IPL තරගාවලිවලදී RCB කණ්ඩායම වෙනුවෙන් දැවැන්ත රසික පිරිසක් ගොඩනැගීම සඳහා ක්‍රිස් ගේල් සහ AB ඩිවිලියර්ස් ද ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළහ.

T20 තරගවල සාර්ථක ම පිතිකරුවන් එක් අයෙකු නොව තිදෙනෙකු ම කණ්ඩායමක සිටින්නේ නම්, ඔවුන්ගේ අසාර්ථකත්වය ඕනෑ ම අයෙකුගේ කනස්සල්ලට කරුණක් වනු ඇත.

නමුත් මෙම ක්‍රීඩකයින් තිදෙනා නොමැතිවීම වසර ගණනාවක් පුරාවට RCB කණ්ඩායම මුහුණ දුන් ලොකු ම පසුබෑමක් විය. කණ්ඩායමේ අවධානය සැමවිට ම මෙම තරු ක්‍රීඩකයින් කෙරෙහි යොමු වී තිබිණි.

තරග වාරයෙන් වාරයට කෝලිගේ පිතිකරණ දක්ෂතාව ද තීව්‍ර විය. නමුත් වසර 17ක් යනතුරු RCB කණ්ඩායමට ශූරතාව ජයග්‍රහණය කළ හැකි ක්‍රීඩකයින් 11 දෙනෙක් නිර්මාණය කිරීමට නොහැකි විය.

RCB කණ්ඩායම 2009, 2011 සහ 2016 යන වසරවලදී අවසන් තරගවලට සුදුසුකම් ලැබුව ද අවස්ථා තුනේදී ම ඔවුන්ට ජයග්‍රහණය අහිමි විය.

ඉන්පසුව, වසර 08ක් ගත වන තෙක් මෙම කණ්ඩායම ඉතා දුෂ්කර කාල පරිච්ජේදයක් පසුකරනු ලැබූ අතර ඔවුන්ට එහිදී අවසන් තරගයකට හෝ සුදුසුකම් ලැබීමට අවස්ථාව නොලැබිණි.

මෙම වසර 17 තුළදී මෙම පිතිකරුවන් තිදෙනා හැරෙන්නට කණ්ඩායම වෙනුවෙන් අනන්‍යතාවක් පෙන්නුම් කළ හැකි කිසිදු පන්දු යවන්නෙකු නොවී ය.

කණ්ඩායම තුළ සිදුකළ වෙනස කුමක් ද?

 ඇන්ඩි ෆ්ලවර් රතු පැහැති ජැකට්ටුවක් පැලඳ කෙටි බිත්තියකට අත් තබාගෙන සිටින අයුරු.

ඡායාරූප මූලාශ්‍රය, Getty Image

ඡායාරූප ශීර්ෂ වැකිය, RCB කණ්ඩායමේ සාර්ථකත්වයට ප්‍රධාන පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර් බොහෝදුරට බලපෑවේ ය

කණ්ඩායමේ සැබෑ වෙනස ආරම්භ වූයේ, 2025 වසරේ පැවති ක්‍රීඩක වෙන්දේසියට මොහොතකට පෙර ය.

RCB ඔවුන්ගේ අඩුපාඩු හඳුනාගෙන ක්‍රීඩක වෙන්දේසියේදී ඒවා සකසා ගැනීමට කටයුතු කළේ ය.

මෙම ක්‍රියාවලියේදී ප්‍රධාන පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර් ද වැදගත් කාර්යභාරයක් ඉටු කළ අතර, ඔහු ක්‍රීඩකයෙකුට වඩා සාර්ථක පුහුණුකරුවෙකු බව ඔප්පු කළේ ය.

දක්ෂ ක්‍රීඩකයින් එක් අයෙකු හෝ දෙදෙනෙකු මත පමණක් යැපෙන කණ්ඩායම් ව්‍යුහයේ වෙනසක් කිරීමට ඇන්ඩි ෆ්ලවර් පියවර ගත්තේ ය.

2025 ක්‍රීඩක වෙන්දේසියට පෙර, RCB කණ්ඩායම රඳවා ගත්තේ විරාත් කෝලි, රජත් පටිදාර් සහ යෂ් දයාල් පමණි.

ඉන් අනතුරුව පැවති ක්‍රීඩක වෙන්දේසියේදී, RCB කණ්ඩායම ක්‍රිකට් ලෝකයේ දැවැන්ත නමක් ඇති ක්‍රීඩකයින් කෙරෙහි පමණක් අවධානය යොමු කළේ නැත.

පිතිකරුවන්ට අමතරව, කණ්ඩායමට හොඳ තුන් ඉරියව් ක්‍රීඩකයින් සහ පන්දු යවන්නන් ගෙන ඒමට ඇන්ඩි ෆ්ලවර් උත්සහ කළේ ය.

ෆිල් සෝල්ට්, ජිතේෂ් ෂර්මා, දෙව්දත් පඩික්කල්, ටිම් ඩේවිඩ්, කෘනාල් පාණ්ඩ්‍යා වැනි ක්‍රීඩකයින් කණ්ඩායමට එක් කිරීමෙන් කණ්ඩායමේ පිතිකරණ ශක්තිය වැඩි කිරීමට කටයුතු කළේ ය.

මේ හැරුණු විට, බුවනේෂ්වර් කුමාර්, ජොෂ් හේසල්වුඩ් සහ රාසික් සලාම් ඩාර් RCB කණ්ඩායම සඳහා ප්‍රධානතම 'තරග වෙනස් කරන' සාධක බව ඔප්පු කරන්නට සමත් විය.

2025 වසරේදී ශූරතාව දිනා ගත්ත ද, RCB කණ්ඩායම තවදුරටත් ශක්තිමත් කිරීමට උත්සහ කළේ ය.

ලියම් ලිවිංස්ටන් සහ ලුන්ගි එන්ගිඩි වැනි ක්‍රීඩකයින් කණ්ඩායමෙන් නිදහස් කරන ලද අතර, ජේකබ් ඩෆි කණ්ඩායමට ගෙන එන ලද්දේ වෙන්කටේෂ් අයියර් සමගිනි.

මෙම ක්‍රීඩකයින් දෙදෙනා ගෙන ඒම මෙම වසරේදී RCB කණ්ඩායම සඳහා වටිනා ආයෝජනයක් බව ඔප්පු විය.

මෙම ක්‍රීඩා වාරයේ ඉනිම 06කදී වෙන්කටේෂ් අයියර් ලකුණු 209ක් රැස් කළ අතර, ඔහුගේ පිතිකරණ ප්‍රහාරාත්මක වේගය 186%ක් විය.

ජේකබ් ඩෆී තරග හයකදී කඩුලු නවයක් දවා ගැනීමට සමත් විය.

රජත් පටිදාර්ගේ නායකත්වය

රජත් පටිදාර් RCB කණ්ඩායමේ නිල ඇඳුමෙන් සැරසී ක්‍රීඩා පිටියේ සිටින අයුරු.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රජත් පටිදාර් පසුගිය වසරේ RCB කණ්ඩායමේ නායකයා ලෙස පත් කරන ලදී.

"මම කවදාවත් හිතුවේ නැහැ මම RCB නායකයා වෙලා ශූරතාව දිනා ගනීවි කියලා."

RCB කණ්ඩායම දෙවන වරටත් ශූරයින් වූ පසු රජත් පටිදාර් මෙසේ පැවසීය.

නමුත් රජත් පටිදාර් දැනටමත් ඉතිහාසයක් නිර්මාණය කර ඇත. තරග වාර දෙකක් තුළ ඔහු RCB කණ්ඩායමට ශූරතා දෙකක් ජයග්‍රහණය කිරීම සඳහා නායකත්වය ලබා දී ඇති අතර, IPL තරගාවලියේ වඩාත් ම සාර්ථක නායකයෙකු බවට පත්ව ඇත.

2025 ආරම්භයට පෙර, රජත් පටිදාර් RCBහි නායකයා ලෙස පත් කරන විට, ක්‍රිකට් ලෝකයේ බොහෝ දෙනෙකු පුදුමයට පත් කරන කරුණක් විය.

නමුත් රජත් පටිදාර් මෙම තරග වාරයේදී පිතිකරණයෙන් මෙන් ම නායකත්වයෙන් ද ඔහුගේ දක්ෂතාව පෙන්නුම් කර ඇත.

පසුගිය වසරේ ඔහු තරග 15කදී ලකුණු 312ක් රැස් කළ අතර, මේ වසරේ රජත් පටිදාර් තරග 15කදී ලකුණු 501ක් රැස් කළේ ය.

නමුත් රජත් පටිදාර්ගේ සැබෑ දක්ෂතාව ඇත්තේ ඔහුගේ නායකත්වය තුළ ය.

පසුගිය තරග වාර දෙකට සාපේක්ෂව මෙවර තරගවාරයේදී රජත් පටිදාර් වඩාත් ම අභියෝගාත්මක අවස්ථාවන්හිදී කලබල වන ආකාරයක් දැකගත නොහැකි විය. ක්‍රීඩා පිටියේදී ඔහුගේ සන්සුන්භාවය පවත්වා ගැනීමට සමත්විය.

ක්‍රිකට් විශේෂඥයින් පවසන්නේ, රජත් පටිදාර් තම ක්‍රීඩකයින් ඔවුන්ගේ හැකියාවන් අනුව අවස්ථාවෝචිත ලෙස යොදා ගන්නා බව ය.

තරග වාර දෙකේදී රජත් පටිදාර් විසින් ක්‍රීඩා පිටිය තුළදී තම පන්දු රකින්නන් සහ පන්දු යවන්නන් භාවිත කරන ආකාරය සහ ඔවුන්ට සහය දක්වන ආකාරය සම්බන්ධයෙන් ක්‍රිකට් විශේෂඥයින්ගේ අගැයීමට ලක්ව ඇත.

අවසන් තරගයෙන් පසු ජිතේෂ් ෂර්මා විසින් කරන ලද ප්‍රකාශයෙන් ද මේ පිළිබඳ ඉඟියක් දැකගත හැකි ය.

"මට මේ අවුරුද්දේ දස්කම් දක්වන්න බැරි වුණා, නමුත් මට දිගට ම සහයෝගය ලැබුණා. දක්ෂ ක්‍රීඩකයින්ට මේ කණ්ඩායම තුළ අගය කිරීමක් ලැබෙනවා," ඔහු පැවසුවේ ය.

"ඔබ ලොකු ක්‍රීඩකයෙක් ද නැද්ද කියන එක ගැටලුවක් නෙමෙයි. ඔබට කණ්ඩායමට යමක් එකතු කරන්න පුළුවන් බව ඔවුන් දන්නවා නම්, ඒ දායකත්වය අගය කරනවා."

රජත් පටිදාර්ගේ නායකත්වය ගැන කතා කරන අතරතුර, විරාත් කෝලි වරක් පැවසුවේ, "රාජත් පටිදාර්, මේ නම ඔබට ඉදිරි වසර ගණනාවක් මතකයේ රැඳෙනවා ඇත," යනුවෙනි.

දැන් විරාත් කෝලිගේ මේ ප්‍රකාශය සත්‍යයක් බව ඔප්පු වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.

කෙසේ වෙතත්, විරාත් කෝලිගේ අත්දැකීම් කණ්ඩායමට තවමත් ප්‍රයෝජනවත් වත්කමක් ලෙස පවතී. ඔහු පසුගිය වසරේ ලකුණු 657ක් සහ මෙම වසරේ ලකුණු 675ක් රැස් කළේ ය.

'වේගවත් සහ දරුණු පන්දු යැවීමක්'

බුවනේෂ්වර් කුමාර් සහ කෘනාල් පාණ්ඩ්‍යා ක්‍රීඩා පිටියේ එකට සිටින අයුරු.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, RCB කණ්ඩායමේ පන්දු යවන්නන් දැන් ඔවුන්ගේ ලොකුම ශක්තිය බවට පත්ව ඇත.

කෙසේ වෙතත්, ඉහත සියල්ල තිබියදීත්, RCB කණ්ඩායම සඳහා වන විශාලතම වෙනස වන්නේ එහි පන්දු යැවීමයි, විශේෂයෙන් ඔවුන්ගේ වේග පන්දු යැවීමයි.

RCBහි වත්මන් පන්දු යැවීමේ අංශය 'වේගවත් සහ දරුණු' ලෙස හැඳින්වීම වරදක් නොවේ.

දිගු කලක් කණ්ඩායමට නායකත්වය දුන් විරාත් කෝලි, වත්මන් පන්දු යැවීමේ ප්‍රහාරය ලෝක පූජිත මට්ටමක් ලෙස හැඳින්වීය.

ඕනෑ ම තත්ත්වයකදී විශ්වාසය තැබිය හැකි එවැනි පන්දු යවන්නන් දැන් ඔවුන් සතුව සිටින බව ඔහු පවසයි.

"අපේ පන්දු යැවීම දිහා බලන්න, ඒකේ හේසල්වුඩ්, බුවි, ඩෆි, කෘනාල් සහ රාසික් සලාම් ඩාර් ඉන්නවා" යැයි විරාත් කෝලි පැවසුවේ ය.

පසුගිය වසරේදී RCB කණ්ඩායම වෙනුවෙන් වැඩි ම කඩුලු දවා ගත් ජොෂ් හේසල්වුඩ් එහිදී කඩුලු 22ක් බිඳ හෙළී ය.

බුවනේෂ්වර් කුමාර් සහ කෘනාල් පාණ්ඩ්‍යා කඩුලු 17 බැගින් දවා ගනිමින් ඔහුට හොඳ සහයක් ලබා දුන්නේ ය.

මෙම වසරේ බුවනේෂ්වර් කුමාර් පන්දු යැවීමේ ප්‍රමුඛ වගකීම භාර ගත්තේ ය.

බුවනේෂ්වර් කුමාර් කඩුලු 28ක් දවා ගත්තා පමණක් නොව, මෙම ක්‍රීඩා වාරයේ දෙවන වඩාත් ම සාර්ථක පන්දු යවන්නා ද විය.

බුවනේෂ්වර් කුමාර් මෙම ක්‍රීඩා වාරයේදී විශිෂ්ට පාලනයක් පෙන්නුම් කළ අතර, නිලකුණු පන්දු 378ක් යැවීමට සමත්විය.

බුවනේෂ්වර් කුමාර්හට රාසික් සලාම් ඩාර් සහ හේසල්වුඩ් සහය දැක්වූහ.

තරග 12 කදී කඩුලු 19ක් දවා ගනිමින් රාසික් කණ්ඩායම් කළමනාකාරිත්වයේ විශ්වාසය නිවැරදි බව ඔප්පු කළේ ය.

පන්දු යැවීමේදී ජොෂ් හේසල්වුඩ් කඩුලු 15ක් දවා ගත්තේ ය.

මේ අතර, කෘනාල් පාණ්ඩ්‍යා කඩුලු 14ක් ලබා ගනිමින් දඟ පන්දු යැවීම මෙහෙයවීය.

මෙම දත්තවලින් පෙනී යන්නේ, RCB කණ්ඩායම සතුව දැන් සම්පූර්ණ පන්දු යැවීමේ ඒකකයක් ඇති බවත්, මෙම වසරේ තරග වාරය ආරම්භ වීමටත් පෙර සිට ම RCB ප්‍රියතම කණ්ඩායම ලෙස සැලකීමට හේතුවක් වූයේ මෙය බවත් ය.