ශබ්ද විකාශන යන්ත්‍ර හා ඇම්ප්ලිෆයර් භාවිතය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති නියෝග මොනවා ද?

ශබ්ද විකාශන යන්ත්‍ර

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ශබ්ද විකාශන යන්ත්‍ර හා ඇම්ප්ලිෆයර් භාවිතය නීතියට අනුකූලව සිදුකරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය සිහි කැඳවීමක් කර තිබේ.

පහුගිය කාලය තුළ මහජනතාවට හිංසනයන් හා පීඩාවක් වන ලෙස ශබ්ද විකාශ යන්ත්‍ර භාවිතා කිරීම පිළිබඳව බහුලව වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් සඳහන් කළේ ය.

"අධික ඝෝෂාකාරී ශබ්දය නිසා නැතිනම් කම්පන තරංග හරහා පුංචි දුවාදරුවන්ට, පාසල්වල ඉගෙනුම ලබන ළමයින්ට ඒ වගේ ම වැඩිහිටියන්ට, ඒ වගේ ම රෝගීන් සඳහා මෙය ඉතාමත් ම බරපතළ තත්ත්වයක් හැටියට අපිට වාර්තා වෙලා තියෙනවා."

මෙය ශබ්ද දූෂණයට එහා ගිය බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ ය.

ශබ්ද විකාශන භාවිතයට පොලිසිය අවසර ලබා දෙන්නේ කෙසේ ද?

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 38/2005 දරන නියෝගය අනුව, ඇම්ප්ලිෆයර්, ශබ්ද විකාශන යන්ත්‍ර හෝ වෙනත් ශබ්ද උපකරණ භාවිත කිරීමෙන් මහජනතාවට හෝ අවට පදිංචිකරුවන්ට අපහසුතාවක් හෝ යම් පීඩාවක් ඇති වන විටදී, එය දණ්ඩ නීති සංග්‍රහයේ 261 වන වගන්තිය යටතේ මහජන පීඩාවක් ලෙස සලකා නීතියට අනුකූලව ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට හැකියාව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර තිබේ.

පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන යටතේ ශබ්ද විකාශන යන්ත්‍ර හෝ ශබ්දය වැඩි කිරීම සඳහා භාවිත කරන වෙනත් උපකරණ භාවිත කිරීමට අවසර දීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂ උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව, රාත්‍රී 10.00 සිට පසුදින පෙරවරු 06.00 දක්වා කාලය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර නොමැති අතර, ආගමික කටයුතු හෝ විශේෂ අවස්ථා සම්බන්ධයෙන් අදාළ කරුණු සලකා බලා නීතියට අනුකූලව අවසර ලබා දිය හැකි ය.

අදාළ බලපත්‍රය නිකුත් කර ඇති අවස්ථාවලදී, බලපත්‍රයේ සඳහන් දිනය, වේලාව සහ අනෙකුත් සියලු ම කොන්දේසිවලට දැඩිව අනුගත විය යුතු බව ද පොලිසිය අවධාරණය කරයි.

අවසර ලබාගෙන ශබ්ද විකාශන භාවිත කළ හැකි වේලාවන් මොනවා ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශබ්ද විකාශ යන්ත්‍ර භාවිත කිරීමට පොලිස් අවසර ලබා දී ඇති අවස්ථාවක අවසර පත්‍රයේ සඳහන් කොන්දේසිවලට යටත්ව අදාළ කාල සීමාවන් තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර හිමි වේ.

සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 10.00 දක්වාත්, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 01.00 දක්වා සහ ඉරිදා දිනයේ අලුයම 12.30 දක්වා පොලිස් අවසර ලබාගෙන ශබ්ද විකාශ යන්ත්‍ර භාවිත කිරීමට හැකියාව පවතී.

එම වේලාවන් බලපත්‍රලාභීන්ට ස්වයංක්‍රීයව හිමි වන අයිතියක් නොවන අතර, අදාළ අවස්ථාව සඳහා පොලිසිය විසින් නිකුත් කරනු ලබන බලපත්‍රයේ සඳහන් කොන්දේසි සහ අවසරයට යටත්ව පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ යුතු ය.

එසේ අවසරයක් ලබා දී තිබුණ ද, ශබ්දය අදාළ පරිශ්‍රයෙන් පිටතට ගොස් අවට පදිංචිකරුවන්ට හෝ මහජනතාවට කරදරයක් හෝ අපහසුතාවක් ඇති වන ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම තහනම් වේ.

පෙරවරු 06.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විශේෂ අවස්ථාවක් සඳහා අවසර ලබා දී ඇති අවස්ථාවකදී ද, එම ශබ්දය අදාළ පරිශ්‍රයට සීමා වන ආකාරයෙන් පවත්වාගෙන යාමට සහ අවට ජනතාවට අනවශ්‍ය බාධාවක් ඇති නොවන ලෙස සිදුකිරීමට වගබලා ගත යුතු ය.

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබා දී ඇති අවස්ථාවල ඊට අදාළ කොන්දේසි ක්‍රියාත්මක වන බවට වගබලා ගැනීම සඳහා ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් යොදවා අධීක්ෂණය කිරීමට ද පොලිසිය කටයුතු කරනු ලැබේ.

මහජනතාවගෙන් පැමිණිල්ලක් ලැබුණු අවස්ථාවකදී, අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂා කර ශබ්දය මහජන පීඩාවක් හෝ අපහසුතාවක් ඇති කරන බව තහවුරු වුවහොත්, එම ක්‍රියාව නතර කරන ලෙස අදාළ පුද්ගලයන්ට දැනුම් දීමට පොලිසිය කටයුතු කරන අතර, එම දැනුම්දීම නොතකා අදාළ ක්‍රියාව තවදුරටත් සිදු කරන්නේ නම්, පවතින නීතිමය විධිවිධාන අනුව ශබ්ද උපකරණ පොලිසිය භාරයට ගැනීම ඇතුළු අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට හැකියාව පවතී.

තව ද, නීතිවිරෝධී ලෙස හෝ මහජනතාවට පීඩාවක් වන ආකාරයෙන් අධික ශබ්දයක් නිකුත් කරන අවස්ථාවක් පිළිබඳව ළඟ ම ඇති පොලිස් ස්ථානයට හෝ හදිසි ඇමුතුම් අංක 118,119 වෙත දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ.

ශබ්ද විකාශන භාවිතයට ශ්‍රේෂ්ඨාධිකරණය පැන වූ නියෝග

වැලිගම ජුම්මා දේවස්ථානයේ භාරකරුවන් වෙත පොලිස් ආඥා පනතේ 80 වන වගන්තිය යටතේ ශබ්ද විකාශන බලපත්‍ර නිකුත් නොකිරීම සහ එවැනි භාවිතයන් මත සීමාවන් පැනවීම මගින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට SC FR 38/2005 යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබී ය.

අදාළ පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ආගමික වත්පිළිවෙත් මත පදනම්ව ඇතැමෙකුට ලැබෙන වාසියක් හෝ පහසුවක්, අවට ජීවත් වන හෝ දේපළ පරිහරණය කරන මහජනතාවට හෝ පොදුවේ ජනතාවට හිරිහැරයක් වන මහජන පීඩාවක් සිදුකිරීම සඳහා නිදහසට කරුණක් කර ගත නොහැකි බව ප්‍රකාශ කළේ ය.

එමෙන් ම, ශබ්ද විකාශන සඳහා අවසර ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශේෂ නියෝග කිහිපයක් නිකුත් කරන ලදී. එම නියෝග මෙසේ ය.

ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් හෝ වෙනත් උපකරණ භාවිතයෙන් අවට පදිංචිකරුවන්ට හෝ පොදුවේ මහජනතාවට හිරිහැරයක් වන පරිදි ශබ්දය පිටකිරීම, දණ්ඩ නීති සංග්‍රහයේ 261 වන වගන්තිය යටතේ මහජන පීඩාවක් (Public Nuisance) ලෙස සැලකිය යුතු අතර, පොලීසිය ඒ පිළිබඳ පැමිණිලි භාරගෙන එම මහජන පීඩාව මැඩපැවැත්වීම සඳහා සුදුසු පියවර ගත යුතු ය.

පොලිස් ආඥා පනතේ 80 (1) වගන්තිය යටතේ පොලීසිය විසින් නිකුත් කරනු ලැබ ඇති සියලු ම බලපත්‍ර වහා ම ක්‍රියාත්මක වන පරිදි අවලංගු වේ.

රාත්‍රී 10.00 සිට පසුදින අලුයම 6.00 දක්වා කාලය ආවරණය වන පරිදි, පොලිස් ආඥා පනතේ 80 (1) වගන්තිය යටතේ ශබ්ද විකාශන යන්ත්‍ර හෝ වෙනත් ශබ්ද වර්ධක උපකරණ භාවිතය සඳහා කිසිදු බලපත්‍රයක් නිකුත් නොකළ යුතු ය. විශේෂ ආගමික උත්සව සහ අනෙකුත් විශේෂ අවස්ථා සඳහා එවැනි බලපත්‍ර නිකුත් කළ හැක්කේ, අවට පරිශ්‍රයන්හි පදිංචිකරුවන්ගේ අදහස් විමසීමෙන් පසුව පමණක් වන අතර, ඒ පිළිබඳ වාර්තාවක් පවත්වාගෙන යා යුතු ය. එමෙන් ම එවැනි බලපත්‍රයක් නිකුත් කළ වහා ම එය ළඟ ම ඇති මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කළ යුතු ය.

අලුයම 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය සඳහා, නිශ්චිත අරමුණක් වෙනුවෙන් සීමිත කාල පරිච්ඡේදයන් සඳහා බලපත්‍ර නිකුත් කළ හැකි ය. එහෙත් එය නිකුත් කළ යුත්තේ, එම ඇම්ප්ලිෆයර් හෝ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් නිකුත් වන ශබ්දය අදාළ පරිශ්‍රයේ සීමාවෙන් ඔබ්බට නොයා යුතු ය යන දැඩි කොන්දේසියට යටත් වෙමිනි.

දණ්ඩ නීති සංග්‍රහයේ 261 වන වගන්තිය යටතේ මහජන පීඩා වැරැද්දකට හෝ මෙම නියෝගයන්ට පටහැනිව පොලිස් ආඥා පනතේ 80 වන වගන්තිය යටතේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන ඕනෑ ම අයෙකුට එරෙහිව මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි භාර ගැනීමට පොලීසිය විශේෂ විධිවිධාන සැලසිය යුතු ය. එමෙන් ම ඒ පිළිබඳව වහා ම පරීක්ෂණ පවත්වා, එම ක්‍රියාව දිගට ම කරගෙන යාමට එරෙහිව අදාළ තැනැත්තාට අවවාද කළ යුතු ය. එම අවවාදයෙන් පසුවත් එම ක්‍රියාව දිගට ම කරගෙන යන්නේ නම්, පොලිස් ආඥා පනතේ 80 (4) වගන්තිය ප්‍රකාරව එම උපකරණ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමටත්, ඒ පිළිබඳව මෙම (ශ්‍රේෂ්ඨාධිකරණ) උසාවියේ රෙජිස්ට්‍රාර්වරයා වෙත වාර්තා කිරීමටත් පියවර ගත යුතු ය.

අදාළ කාලයේදී ශබ්ද දූෂණයේ අහිතකර බලපෑම්වලින් මහජනතාව ආරක්ෂා කිරීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ (සංශෝධිත) 23P වගන්තිය මගින් නියම කර ඇති පරිදි, ඵලදායී නීතිමය ක්‍රමවේදයක් රෙගුලාසි මගින් ස්ථාපනය කිරීමට විධායකය අපොහොසත් වීම හේතුවෙන් ජනතාවට නීතියේ සමාන ආරක්ෂාව අහිමි වී ඇති බව ද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය මගින් සහතික කර ඇති නීතියේ සමාන ආරක්ෂාව ජනතාවට ලබා දීම සඳහා, අදාළ නීති ප්‍රතිපාදන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර නොමැති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය තමන් ඉදිරියෙහි ඇති කරුණු සලකා බලා ඉහත සඳහන් නියෝග නිකුත් කරනු ලැබී ය.