ජපානය ප්‍රබල භූ චලනයක් ගැන අනතුරු අඟවයි: ඔබ හෝ ඔබේ සමීපතමයින් ජපානයේ මෙම ප්‍රදේශවල වාසය කරනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Photo by JIJI Press / AFP via Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
ඉදිරි සතිය තුළ තවත් ප්‍රබල භූමිකම්පාවක් සිදුවිය හැකි බවට ජපාන බලධාරින් අනතුරු අඟවා තිබේ. ඒ අනුව එවැනි ප්‍රබල භූකම්පනයක් සඳහා සූදානම්ව සිටින ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා ඇතැයි ජපානයේ NHK රූපවාහිනිය වාර්තා කළේ ය.
ජපනයේ ඊසාන දිග වෙරළ තීරයේ පසුගිය අප්‍රේල් 20 වන දා ඇති වූ මැග්නිටියුඩ් 7.7ක භූමි කම්පාවෙන් පසු ජපාන නිලධාරීන් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.
භූමි කම්පා අනතුරු ඇඟවීම කුමක් ද?
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සහ කැබිනට් කාර්යාලය අප්‍රේල් 20 දා සවස 7:30ට පමණ ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ අතර, කාලගුණ ඒජන්සිය "හොකයිඩෝ සහ සැන්රිකු වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයට භූමි කම්පා අනතුරු ඇඟවීම" නිකුත් කළේ ය. එම අනතුරු ඇඟවීම යටතේ, නගර සභා 182කට ආපදා සඳහා පෙර සූදානම් වීමේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ඇත. ජපානය එවැනි උපදේශනයක් නිකුත් කළ දෙවන අවස්ථාව මෙය බව NHK සඳහන් කළේ ය.
ජපාන ආගාධය සහ චිෂිමා ආගාධය ආශ්‍රිතව ප්‍රබල භූමි කම්පාවක් ඇතිවීමේ වැඩි හැකියාවක් ඇති බවට ජනතාව දැනුවත් විය යුතු බව ජපාන කාලගුණ ඒජන්සිය පවසයි. ඒ අනුව ඒ සඳහා සූදානමින් සිටින ලෙස එම ඒජනසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
ඉවත් වීමේ අනතුරු ඇඟවීමක් නිකුත් කළහොත් ඒ අනුව ක්‍රියා කිරීම සඳහා, ආරක්ෂිත රැඳවුම් මධ්‍යස්ථාන සහ ප්‍රවාහන මාර්ග පිළිබඳ තොරතුරු පිළිබඳ පරීක්ෂා කර බලන ලෙසත්, බිම වැටී හානි වීම වළක්වා ගැනීමට ගෘහ භාණ්ඩ ආරක්ෂිතව තබා ගැනීමට මෙන් ම ආහාර, ජලය ඇතුළත් ආපදා මල්ලක් සහ ජංගම වැසිකිළි වැනි දෑ මෙන් ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණවත් ලෙස ගබඩා කර තබා ගැනීමට ජපාන බලධාරීන් ජනතාවට උපදෙස් දී තිබේ.
නිලධාරීන් ජනතාවට නිවාසවලින් ඉවත් වන ලෙස දැනුම් දී නොමැත. මෙම අනතුරු ඇඟවීමේ උපදේශනය සතියක කාලයක් සඳහා නිකුත් කර තිබේ.
'මැග්නිඩියුඩ් 8ට වැඩි භූමි කම්පාවක් ඇතිවීමේ සම්භාවිතාව 10 ගුණයකින් වැඩියි'
කැබිනට් කාර්යාලය සහ කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ සතියක් ඇතුළත එම ප්‍රදේශයේ මැග්නිඩියුඩ් 8 හෝ ඊට වැඩි ප්‍රබල භූමිකම්පාවක් ඇතිවීමේ හැකියාව සාමාන්‍ය ප්‍රමාණයට වඩා 10 ගුණයකින් පමණ වැඩි බව ය.
නුදුරු අනාගතයේදී චිෂිමා ආගාධය සහ ජපන් ආගාධය ආශ්‍රිතව ප්‍රබල භූමිකම්පාවක් ඇතිවීමේ හැකියාව පිළිබඳව ජපාන රජයේ භූ චලන පර්යේෂණ කමිටුව විශ්ලේෂණය කරමින් සිටී.
ඉදිරි වසර 30 තුළ නෙමුරෝ වෙරළට ඔබ්බෙන් මෙය සිදුවීමේ සම්භාවිතාව සියයට 90 ක් බව එහි සඳහන් වේ. සතියක් ඇතුළත සිදුවීමේ සම්භාවිතාවට එය පරිවර්තනය කළ විට, එය සාමාන්‍යයෙන් "0.1%" පමණ වේ.
ජපාන කැබිනට් කාර්යාලයට අනුව, 1904 සිට 2021 දක්වා කාලය තුළ ලොව පුරා මැග්න්ටියුඩ් 7 හෝ ඊට වැඩි ප්‍රබලත්වයෙන් යුත් මහා පරිමාණ භූමිකම්පා 1,529ක් සිදුව ඇතැයි තහවුරු වී තිබේ.
මෙම භූමිකම්පාවලින් පසු සතියක් ඇතුළත සහ එම ප්‍රදේශයේ සිට කිලෝමීටර් 500ක් ඇතුළත මැග්නිටියුඩ් 8 හෝ ඊට වැඩි අගයක් සහිත භූමි කම්පාවක් සිදුවූ අවස්ථා 19ක් වාර්තා වී ඇති බව ජපාන බලධාරීන් පවසයි.
මෙම සංඛ්‍යා ලේඛන මත පදනම්ව, තවත් භූචලනයක් සිදුවීමේ සම්භාවිතාව "1%ක්" හෝ සාමාන්‍යයට වඩා 10 ගුණයකින් පමණ වැඩි බව බලධාරීන් තීරණය කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Photo by David Mareuil/Anadolu via Getty Images
'ඉදිරි සතිය පුරා ම සූදානම්ව සිටින්න'
ආපදා තොරතුරු පිළිබඳ විශේෂඥයෙක් වන ටෝකියෝ විශ්වවිද්‍යාලයේ උපාධි විද්‍යාතනයේ මහාචාර්ය සේකියා නාඕයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ තවත් ප්‍රබල භූමි කම්පාවක් ඇතිවීමේ හැකියාව ඇති බැවින් ඒ සඳහා සූදානම්ව සිටින ලෙස ය.
2011 දී නැගෙනහිර ජපානයේ ප්‍රබල භූමිකම්පාවේ පාඩම් මත පදනම්ව මෙම උපදේශනය නිර්මාණය කරන ලද බව ඔහු සඳහන් කරයි. එම ව්‍යසනය සිදු වූයේ එම කලාපයේ මැග්නිටයුඩ් 7.3ක භූමිකම්පාවක් සිදුව දින දෙකකට පසුව ය.
ප්‍රබල භූමිකම්පාවක් ඇති වුවහොත් කම්පන සහ සුනාමි රළවලින් ආරක්ෂා වීමට ජනතාව සූදානම් කිරීම මෙම අනතුරු ඇඟවීමේ උපදේශනයේ අරමුණ බව සේකියා පවසයි.
සත්‍යාපනය කළ තොරතුරු මත සන්සුන්ව කටයුතු කරන්න
අප්‍රේල් 20 වන දින පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් කාර්යාලයේ නිලධාරියෙකු අවධාරණය කළේ, රජය භූමි කම්පා අනාවැකි පළ නොකරන බවත්, ව්‍යාකූලත්වය වැළැක්වීම සඳහා අසත්‍ය තොරතුරු පතුරුවා හැරීමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ය.
කලබලකාරී ලෙස ආහාර සහ භාණ්ඩ වර්ග අනවශ්‍ය ලෙස මිල දී ගනිමින් සහ ගබඩා කර තබා ගැනීමෙන් වළකින ලෙස ද ජපාන බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා තිබේ.
හොකයිඩෝහි නගර සභා 63ක්, අඕමෝරිහි මහ නගර සභා 28ක්, ඉවාටේහි මහ නගර සභා 23ක්, මියාගිහි මහ නගර සභා 35ක්, ෆුකුෂිමාහි නගර සභා 10ක්, ඉබරාකිහි මහ නගර සභා 9ක්, චිබාහි මහ නගර සභා 14ක් ඇතුළු නගර හා ගම්මාන සඳහා මෙම අනතුරු ඇඟවීමේ උපදේශනය නිකුත් කර ඇතැයි NHK අනාවරණය කළේ ය.


































