සිහින හැඩගැස්වීමේ විද්‍යාව යනු කුමක් ද? ඉන් ඔබට ලැබෙන ප්රතිලාභ මොනවා ද?

සිහින පැමිණෙන්නේ කොහෙන් ද? සහ ඒවායින් ඉටු වන කාර්යය කුමක් ද? යන්න තේරුම් ගැනීමට මිනිසුන් සියවස් ගණනාවක් පුරාවට උත්සහ කර තිබේ. නමුත් නින්ද පිළිබඳ ඇතැම් පර්යේෂකයන් දැන් විශ්වාස කරන්නේ අපට ඉක්මනින් ම අපගේ සිහිනවල අරුත පැහැදිලි කර ගැනීමට පමණක් නොව, ඒවා හැඩගස්වා ගැනීමට ද හැකි වනු ඇති බව ය.
"සිහින හැඩගැස්වීමේ විද්‍යාව" නමැති නැගී එන ක්ෂේත්රයේ නියැළී සිටින විද්‍යාඥයින් පවසන්නේ, අප නින්දට වැටෙන මොහොතේ මනස තුළ අදහස් තැන්පත් කිරීම මගින්, අප නිදා සිටින විට ලබන අත්දැකීම් මෙහෙයවීමට හැකි වනු ඇති බව ය.
මෙම ක්‍රියාවලිය හරහා ඉගෙනීමේ හැකියාව දියුණු කිරීමට, නිර්මාණශීලිත්වය වර්ධනය කිරීමට සහ මානසික කම්පනයන් සමනය කර ගැනීමට පවා උපකාරී විය හැකි බව මූලික පර්යේෂණවලින් යෝජනා කරයි.
සැලසුමක් අනුව මෙහෙයවන සිහිනයක්
ඇමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ බ්රෙන්ට්රීහි ජීවත් වන ලේඛකයෙකු සහ කලාකරුවෙකු වන විල් ඩවුඩ් පවසන්නේ, තමන් දැන් වෘත්තීය සිහින දකින්නෙකු ලෙස තමාට හැඟෙන බව ය.
ඔහුගේ පෙනීම සහ චලන හැකියාවට බලපා ඇති දුර්වල කර ඇති රෝගී තත්ත්වයක් හේතුවෙන් කියවීමට නොහැකි වූ ඔහු සිහිනයක් උපදවා ගැනීම (dream incubation) ලෙස හැඳින්වෙන තාක්ෂණයක් අත්හදා බැලීමට පටන් ගත්තේ ය. මෙහිදී සිදුවන්නේ ඔහුට නිදිමත දැනෙන විට කෙටි ශ්‍රව්‍ය පණිවිඩ මනසට ඇතුළු කිරීම ය.
"මගේ සිහින, සාහිත්‍යය සමග පෙළගස්වා ගන්න පුළුවන් නම් කියලා මට හිතුණා,'' ඔහු පවසයි. ඔහු නින්දට වැටෙන විට වාදනය කරන ලද කාව්‍යමය පටිගත කිරීම් භාවිතයෙන්, ඔහුගේ රාත්‍රීන් විචිත්‍රවත් දර්ශනවලින් පිරී යන බව ඩවුඩ් සොයා ගත්තේ ය. දැවැන්ත ගංවතුරකින් විනාශ වූ අද්භූත නගරයක් හරහා සංචාරය කිරීම හෝ සඳ එළියේ රැලි මත හිවලුන් සමග දිව යාම වැනි දර්ශන ඒ අතර විය.
"මම ඒක අතිවිශාල වේගයකින් සිහින සැබෑ කර ගැනීම වැනි දේකට සමාන කරනවා," ඔහු පවසයි. මෙම සිහින ඔහුගේ ඉදිරියේදී ප්‍රකාශයට පත් වීමට නියමිත ග්‍රන්ථයක පදනම වූ අතර, ඔහුට අනුව ඇතැම්විට් වඩා වැදගත් වූයේ එමගින් ලැබුණු නිදහස් හැඟීමයි. "මම වෙනම ලෝකෙකට ගිහිං ආයේ ආවා වගේ හැඟීමක් මට දැනුණා."
විද්‍යාව
සිහින ජනනය කිරීම අලුත් දෙයක් නොවේ. පුරාණ ග්‍රීක සහ තායි සංස්කෘතීන් තුළ සිහින සඳහා මග පෙන්වීමට ආගමික ස්ථාන භාවිත කළහ. සිහින අන්තර්ගතයට බලපෑම් කිරීම පිළිබඳ නූතන උනන්දුව 2000 ගණන්වල මුල් භාගයේදී ජනප්‍රිය විය. හාවඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබට් ස්ටික්ගෝල්ඩ් සොයා ගත්තේ, ටෙට්‍රිස් වීඩියෝ ක්‍රීඩාව ක්‍රීඩා කළ පුද්ගලයින් නින්දට වැටෙන විට බොහෝවිට පහළ වැටෙන හැඩයන් සිහිනයෙන් දුටු බව ය. මෙම සංසිද්ධිය පසුව ටෙට්‍රිස් ආචරණය ලෙස හැඳින්විණි.
"අපි ගොඩක් සතුටු වුණා. ඔබට සිහිනවල අන්තර්ගතයට බලපෑම් කරන්න පුළුවන් කියලා අපි පළමු වතාවට ඔප්පු කරලා තිබුණා," ස්ටික්ගෝල්ඩ් පවසයි.
අද වන විට, හාවඩ් විශ්වවිද්‍යාලය සහ ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනය සමග අනුබද්ධව සේවය කරන සංජානන විද්‍යාඥයෙකු වන ආචාර්ය ඇඩම් හාර් හොරොවිට්ස් වැනි පර්යේෂකයෝ වඩාත් සවිඥානිකව සිහින මෙහෙයවිය හැකි තාක්ෂණයන් දියුණු කරමින් සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, Roos Koole via Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඔහු විසින් නිර්මාණය කිරීමට දායකත්වය දක්වනු ලැබූ Dormio නම් උපකරණය, පුද්ගලයෙකු නින්දට වැටෙන විට ශාරීරික සංඥා නිරීක්ෂණය කරන අතර, ඔවුන් පූර්ව නිද්‍රා අවස්ථාවට පිවිසෙන නිවැරදි ම මොහොතේදී "වතුර ගැන සිහින දැකීමට මතක තබා ගන්න" වැනි වාචික උපදෙසක් ලබා දෙයි. අප නින්දට වැටෙන විට අපට විචිත්‍ර දෘශ්‍ය රූප ගලායාමක් අත්විඳිය හැක්කේ මෙම අවස්ථාවේදී ය. අධ්‍යයනයකින් හෙළි වූයේ, Dormio උපකරණය භාවිතයෙන් යම් නිශ්චිත මාතෘකාවක් ගැන සිහින දකින ලෙස උපදෙස් ලැබුණු පසු, සහභාගි වූවන්ගෙන් 70%කට වඩා වැඩි පිරිසක් එම මාතෘකාව ගැන ම සිහින දුටු බව ය.
හාර් හොරොවිට්ස්ට මේ සම්බන්ධයෙන් උනන්දු වීමට පදනම වී ඇත්තේ, ඔහුගේ පෞද්ගලික අත්දැකීමකි: ළමා වියේදී මුහුණ දුන් කම්පනසහගත සිදුවීමකින් අනතුරුව ඔහු නිදා සිටියදී ඔහුගේ මව ඔහුට සැනසිලිදායක වදන් සෙමින් පවසන අතර, එය ඔහුට දිගින් දිගට ම පෙනුණු බිහිසුණු සිහින වෙනස් කිරීමට සමත් විය. "ඒක මගේ සිහින වෙනස් කිරීමට පටන් ගත්තා, මම ඒ බිහිසුණු සිහිනවලින් මිදුණා, මගේ බිය නැති වුණා," යැයි ඔහු පවසයි.
සිහින සාර්ථකව මෙහෙයවිය හැකි වූ පසු, ඔබට විද්‍යාත්මකව නිරීක්ෂණය කර සංසන්දනය කළ හැකි විෂය කණ්ඩායම් නිර්මාණය කිරීමට පටන් ගත හැකි බව පවසන ඔහු සිහින ඉංජිනේරු විද්‍යාව සම්පූර්ණයෙන් ම නව විද්‍යාත්මක සීමාවක් විවෘත කරන බව ඔහු විශ්වාස කරයි.
කම්පනය සුව කිරීම
ඇතැම් පුද්ගලයන්ට, ශෝකය දරා ගැනීමේදී සිහින මගින් බලාපොරොත්තු නොවූ සහනයක් හිමිව තිබේ. කැලිෆෝනියාවේ මාරි ලූකස් ඇගේ නව යොවුන් වියේ පසුවූ පුත් සේන්ගේ මරණයෙන් පසු වසර ගණනාවක් පුරා බියකරු සිහිනවලින් පීඩා වින්ඳා ය. නමුත් පියයුරු පිළිකාවක් සඳහා සැත්කමකට මුහුණ දීමෙන් පසු, නිර්වින්දන තත්ත්වය පහව යන විට ඇයට සේන් පිළිබඳ පැහැදිලි, ආදරණීය සහ සැනසිලිදායක සිහින පෙනෙන්නට විය. එමගින් ඇය එතෙක් අත්විඳි බියකරු සිහින නතර වූ බවක් දක්නට ලැබිණි.
"අවුරුදු දෙක හමාරකින් විතර මම දැන් එක බය හිතෙන හීනයක්වත් දැකලා නැහැ" ඇය පවසයි. "ඒක මගේ ජීවිතය වෙනස් කළා."
ඇයගේ මෙම අත්දැකීම ඔස්සේ මේ වන විට ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් විසින් වැඩිදුරටත් අධ්‍යයනය කරනු ලබන පර්යේෂණ ක්ෂේත්රයක් පිළිබිඹු කරයි. වෛද්‍ය පිලරීන් සික්කා පවසන්නේ, නිර්වින්දනය යනු 'සාමාන්‍ය' නින්දට සමාන දෙයක් නොවුණ ද, නිර්වින්දනය යටතේ සිටින බොහෝ රෝගීන් අසාමාන්‍ය ලෙස ධනාත්මක සිහින දකින බව වාර්තා වන බව සහ සැත්කමකින් පසු සාමාන්‍යයෙන් සිදුකරනවාට වඩා සෙමින් රෝගියෙකු පියවි සිහියට පත් කරන්නේ නම් ඒවා ශක්තිමත් චිකිත්සක බලපෑම් ඇති කරන බව ය.
පශ්චාත් කම්පන ආතති ආබාධය (PTSD), සාමාන්‍ය කාංසාව සහ විෂාදය වැනි තත්ත්වයන් කළමනාකරණය කිරීමට යම් දිනකදී මෙය මිනිසුන්ට උපකාර කිරීමට භාවිත කළ හැකි යැයි අපේක්ෂා කෙරේ.
''ශල්‍යකර්මයක් අවශ්‍ය නොවන පුද්ගලයන් සඳහා මේක ස්වාධීන ප්‍රතිකාර ක්‍රමයක් වෙන්න පුළුවන්, සමහර විට අනාගතයේදී සිහින සායන පවා බිහි වෙයි," ඇය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, PM Images via Getty Images
ආචාර ධර්ම
සිහින හැඩගැස්වීමේ විද්‍යාව කෙරෙහි පවතින විද්‍යාත්මක උනන්දුව වර්ධනය වීමත් සමග එහි පවතින සදාචාරාත්මක භාවිතය පිළිබඳ දැඩි කතාබහක් පවතී.
2021 දී, එක්සත් ජනපද බියර් සන්නාමයක් වන Coors, මිනිසුන්ට සිහින දැකීමට උපකාර කිරීම සඳහා වෙළෙඳ දැන්වීමක් නිර්මාණය කළ අතර, කඳු, දිය ඇලි සහ තොප්පියක් සහිත කතා කරන මාළුවෙකු බියර් කෑනයක් අතැතිව සිටින අමුතු දර්ශන ඇතුළත් එය නැරඹීමෙන් අනතුරුව නින්දට යන ලෙස ජනතාව දිරිමත් කළේ ය.
මූලික වශයෙන් එම සන්නාමය නින්දට පෙර එම වීඩියෝව නැරඹීමට මිනිසුන් පෙළඹවූ අතර, ඔවුන් පැවසුවේ ඒ හරහා ජනතාව නිෂ්පාදන පිළිබඳ සිහින දැකීමට පෙළඹෙනු ඇති බව ය.
මෙම ප්‍රචාරණ කටයුත්තෙන් අනතුරුව වෙළෙඳ දැන්වීම් සඳහා තාක්ෂණය භාවිත කිරීම සම්බන්ධයෙන් විවෘත ලිපියක් ලිවූ ස්ටික්ගෝල්ඩ් සහ හාර් හොරොවිට්ස් ඇතුළු ක්ෂේත්රයේ ඇතැම් විද්‍යාඥයෝ එයට විවේචන එල්ල කළහ.
"වෙළෙඳ දැන්වීම් කර්මාන්තය අපේ නින්දට බාධා නොකළ යුතු යි," ස්ටික්ගෝල්ඩ් පවසයි. "ඒක අපේ පෞද්ගලිකත්වයේ අවසාන බළකොටුව."
හාවඩ් විශ්වවිද්‍යාලයේ සිහින පර්යේෂක ආචාර්ය ඩියර්ඩ්රේ බැරට් වැනි අනෙකුත් විශේෂඥයින් විශ්වාස කරන්නේ, මෙම බිය අතිශයෝක්තියෙන් පෙන්වා ඇති බව ය. සාමාන්‍ය වෙළෙඳ දැන්වීම් සමග සංසන්දනය කර බලන විට සිහිනවලට එල්ල කරන බලපෑම සියුම් ලෙස පවතින බව ඇය පවසයි. වෙළෙඳ දැන්වීම නිර්මාණය කිරීමේදී Coors වෙත උපදෙස් දුන් බැරට් පැවසුවේ, මෙම ව්‍යාපෘතිය මඟින් සිහින හැඩගැස්වීමේ විද්‍යාත්මක සංකල්පය පුළුල් ප්‍රේක්ෂක පිරිසකට හඳුන්වා දීමට අවස්ථාවක් ලැබුණු බව ය.
බීබීසීය විසින් Coors ව්‍යාපාරය පිළිබඳ එල්ල වන විවේචන එම සන්නාමයේ මව් සමාගම වන Molson Coors වෙත ඉදිරිපත් කළ නමුත් සමාගම ඒ සඳහා ප්‍රතිචාර දැක්වූයේ නැත.

ඡායාරූප මූලාශ්‍රය, skaman306 via Getty Images
සිහින දකින්නේ ඇයි?
හාර් හොරොවිට්ස්ට අනුව සිහින හැඩගැස්වීමේ විද්‍යාව යනු විද්‍යාව හෝ තාක්ෂණය පමණක් නොව, අපගේ ජීවිතයේ සැලකිය යුතු කොටසක් නැවත ලබා ගැනීම යි.
''සෑම දිනක ම තුනෙන් එකක් [නිදාගැනීමට ගත කරන කාලය] වසරක තුනෙන් එකකට සමාන වෙනවා," ඔහු පවසයි. "එය ඔබේ ජීවිත කාලයෙන් තුනෙන් එකක් දක්වා එකතු වෙනවා. සිහින මගින් ඔබට වැඩි යමක් කිරීමට, සිතීමට සහ නිර්මාණය කිරීමට ඉඩ සලසනවා. ඉතිං මම මේක දකින්නේ මගේ මානසික ක්‍රියාකාරකම්වලින් තුනෙන් එකක් අපතේ හැරීම නැවැත්වීමට ඇති මාර්ගයක් විදිහට යි."
පර්යේෂකයන් සිහින ගැන වැඩි වැඩියෙන් අධ්‍යයනය කරන විට, සිහින තවදුරටත් අප නිදා සිටියදී සිදුවන දෙයක් නොවනු ඇත. ඇතැමුන් විශ්වාස කරන්නේ, සිහින අධ්‍යයනය කර මානසික සෞඛ්‍යය සහ පෞද්ගලික සංවර්ධනය වැඩි දියුණු කිරීමට භාවිත කළ හැකි බව ය. තවත් සමහරුන් බිය වන්නේ, සමාගම් මෙම දැනුම නිෂ්පාදන ප්‍රචාරය කිරීමට සහ මිනිසුන් නිදා සිටියදී පවා මුදල් ඉපයීමට භාවිත කළ හැකි බවට ය.
බීබීසී ලෝක සේවයේ The Documentary වැඩසටහනේ කතාංගයක් පාදක කරගෙන සකස් කළ ලිපියකි.


































