රාත්‍රී ආහාරයෙන් පසු කොමඩු අනුභව කළ ඉන්දියාවේ එක ම පවුලේ සාමාජිකයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට

මුම්බායිහි ජීවත් වූ සාමාජිකයින් සිව්දෙනෙකුගෙන් යුතු පවුලක සියලු දෙනා පාචනය සහ වමනය හේතුවෙන් මියගොස් තිබේ.
    • Author, දීපාලි ජග්තප්
    • Role, බීබීසී මරාති
  • කියවීමේ කාලය: මිනිත්තු 4

මුම්බායිහි ජීවත් වූ සාමාජිකයින් සිව්දෙනෙකුගෙන් යුතු පවුලක සියලු දෙනා පාචනය සහ වමනය හේතුවෙන් මියගොස් තිබේ.

පවුලේ සියලු දෙනා රාත්‍රී ආහාරයෙන් අනතුරුව කොමඩු ආහාරයට ගෙන ඇති අතර ඔවුන් ආහාර විෂවීමක් හේතුවෙන් මියයන්නට ඇතැයි ප්‍රදේශයේ වෛද්‍යවරුන් සැක පළ කර තිබේ.

කෙසේවෙතත්, මරණ පරීක්ෂණ වාර්තාව මෙතෙක් නිකුත් වී නොමැති අතර මරණයට නිශ්චිත හේතුව මෙතෙක් පැහැදිලි නැත. පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින අතර ඒ සඳහා ඔවුන් ආහාරට ගත් ආහාර සහ කොමඩු සාම්පල ලබාගෙන ඇත.

ඉකුත් අප්‍රේල් මස 25 වන දා රාත්‍රී 10.30ට පමණ අදාළ පවුලේ සාමාජිකයින් ඥාතීන් පිරිසක් සමග රාත්‍රී ආහාරය ගෙන තිබිණි.

ඥාතීන් පිටව ගිය පසු අලුයම 1.30ට පමණ තමන් කොමඩු ආහාරයට ගත් බව ඔවුන් දැනුම් දී ඇතැයි පොලිසිය පැවසීය.

ඇත්තට ම සිදුවූයේ කුමක් ද?

අදාළ පවුල මුම්බායිහි පයිදොනි නම් ප්‍රදේශයේ පැරණි මෝගල් ගොඩනැගිල්ලක පළමු මහලේ ජීවත් වී තිබේ.

වයස අවුරුදු 40ක් වූ අබ්දුල්ලා ඩොකාඩියා, 35 හැවිරිදි වියේ පසුවූ ඔහුගේ බිරිඳ නස්රීන් ඩොකාඩියා සහ අවුරුදු 13 සහ අවුරුදු 15 යන වයස්වල පසුවූ ඔවුන්ගේ යොවුන් දියණියන් දෙදෙනාගෙන් මෙම පවුල සමන්විත විය.

ඔවුන්ගෙන් තිදෙනෙකු ජේ. ජේ. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව වාර්තා වේ.

කුඩා දැරිය ඇගේ නිවසේ සිට ආසන්න රෝහලකට රැගෙන යන අතරතුර මිය ගිය බව ප්‍රාදේශීය වෛද්‍ය සායිඩ් කුරේෂි දැනුම් දී තිබේ.

වෛද්‍ය සායිඩ් කුරේෂි
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම සිද්ධිය වූ ස්ථානයට ළඟා වන විට කාමරයේ සිටි සිව්දෙනා ම අසාධ්‍ය තත්ත්වයේ පසු වුණු බව වෛද්‍ය කුරේෂි බීබීසී මරාති සේවයට පැවසීය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඥාතීන් ඇතුළු සියලුදෙනා අප්‍රේල් 25 වන දා රාත්‍රී ආහාර ලබා ගෙන තිබිණි. පොලිසිය දැනුම් දී ඇත්තේ ඉන් පසුව ඥාතීන් පිටව ගිය පසු අලුයම 1:30ට පමණ ඔවුන් සියලු දෙනා කොමඩු අනුභව කර ඇති බවයි.

ඉන් අනතුරුව උදෑසන පවුලේ සියලුදෙනා වමනය සහ පාචන තත්ත්වයෙන් පීඩා විඳීමට පටන් ගෙන තිබේ. එම අවස්ථාවේදී ගොඩනැගිල්ලේ සිටි පුද්ගලයින් ඔවුන්ට උපකාර කිරීමට උත්සහ කර ඇත.

එම ගොඩනැගිල්ලේ සිව්වන මහලේ පදිංචිව සිටින වෛද්‍ය සායිඩ් කුරේෂි ක්ෂණිකව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කළේ ය.

වෛද්‍ය කුරේෂි එම ස්ථානයට ළඟා වන විට කාමරයේ සිටි පුද්ගලයින් සිව්දෙනා ම අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බව ඔහු බීබීසී මරාති සේවය වෙත පැවසීය.

"ඒ වෙලාවේ මම දැක්කා ගැහැනු ළමයින්ගෙන් බාලයා හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙළෙනවා කියලා. මම වහා ම ඇයට CPR දුන්නා. පස්සේ මම ඇයව අසල රෝහලකට අරන් ගියා. ඒ වෙලාවේ ඇය මිය ගියා."

"පසුව අනෙක් තිදෙනා ප්‍රාදේශීය රෝහලක සිට ජේ.ජේ. රෝහලට රැගෙන ගියා. ඔවුන්ට එහිදී පැය කිහිපයක් යනකම් ප්‍රතිකාර ලබා දුන්නා. පසුව ඔවුන් මිය ගියා," වෛද්‍ය කුරේෂි පැවසීය.

මරණ පරීක්ෂණ වාර්තාව තවමත් නිකුත් කර නැත. එය නිකුත් වීමෙන් අනතුරුව පමණක් මෙම මරණ විෂ වීමක් හේතුවෙන් සිදුවී තිබේ ද සහ එයට හේතුව කුමක් ද යන්න පැහැදිලි වනු ඇතැයි ඔහු පැවසීය.

මේ අතර, ප්‍රාදේශීය MIM නායක සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ හිටපු ව්‍යවස්ථාදායක සභා මන්ත්‍රී වාරිස් පතාන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පැවසුවේ, ප්‍රාන්ත රජය සහ පොලිස් කොමසාරිස්වරයා මෙම සිද්ධිය පිළිබඳව අවධානය යොමු කර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

ජේජේ මාර්ග් පොලිස් ස්ථානය

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජේ.ජේ. පොලිස් ස්ථානය වෙත අස්වාභාවික මරණ පිළිබඳ පැමිණිල්ලක් යොමු වී ඇත.

ප්‍රාන්ත රජයේ සහ මුම්බායි පොලිස් කොමසාරිස්වරයාගේ අවධානය මෙම සිද්ධිය කෙරෙහි යොමු විය යුතු බව MIM ප්‍රාදේශීය නායක සහ හිටපු ව්‍යවස්ථාදායක සභා මන්ත්‍රී වාරීස් පතාන් ඉල්ලීමක් කර ඇත.

"මෙහෙම කෙනෙක් මිය යන්නේ කොහොම ද කියලා අහලා මට කෝල්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. මොකක් ද හේතුව? අපි දැනට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙනකම් බලන් ඉන්නේ. ඇත්තට ම මොකද වෙලා තියෙන්නේ කියලා හොයා ගන්න ප්‍රාන්ත රජය සහ පොලිස් කොමසාරිස්වරයා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන්න ඕන. පවුලක් ම එකපාර ම මැරෙන්න හේතුවක් වුණේ මොකක් ද? ඒක කොමඩු ආහාරයට ගත්ත නිසා සිදුවුණු දෙයක් ද නැත්නම් වෙනත් හේතුවක් තියෙනවා ද කියලා පරීක්ෂණයක් පවත්වන්න ඕන. අනෙක් පුද්ගලයන්ට ආරක්ෂා වෙන්න පුළුවන් විදිහට රජය මේ තොරතුරු නිකුත් කළ යුතුයි," සිය X ගිණුම ඔස්සේ සටහනක් තබමින් වාරිස් පතාන් පවසා තිබේ.