චෙම්මනි සමූහ මිනී වළේ 6 වන අදියරේ කැණීම් ඇරඹේ

- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනී වළේ හයවන අදියරේ කැණීම් අප්‍රේල් 27 නැවත ආරම්භ කෙරිණි.
මෙහි පස්වන අදියරේ කැණීම් කටයුතු අවසන් වූයේ, 2025 සැප්තැම්බර් 6 වන දා ය.
සමූහ මිනී වළ තුළින් මේ දක්වා මිනිස් සිරුරු 240ක අස්ථි කොටස් මතු කර ගෙන ඇති අතර, ඉන් සිරුරු 239කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇති බව කැණීම් නිලධාරීහු පැවසූහ.
ඔවුන් තවදුරටත් සඳහන් කළේ, මෙම ස්ථානයේ සිදු කළ ස්කෑන් පරීක්ෂණ වාර්තා සැලකිල්ලට ගනිමින් හයවන අදියර කැණීම් කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන බව ය.
යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේ, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් මෙහි කැණීම් සිදු කරනු ලබයි.
ඉන් හමුවූ අස්ථි කොටස් සහ භාණ්ඩ යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ, යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨයේ තබා තිබේ.

පස්වන අදියරේ කැණීම් කටයුතු
සමූහ මිනී වළේ පස්වන අදියරේ කැණීම් කටයුතු 2025 අගෝස්තු 25 වන දා ආරම්භ කළ අතර එහිදී මිනිස් සිරුරු 90කට අදාළ අස්ථි කොටස් මතු කර ගෙන තිබිණි.
කෙසේ වෙතත්, ඉකුත් වසරේ අග භාගයේ ඇති වූ දිට්වා සුළි කුණාටු තත්ත්වය සහ වැසි තත්ත්වය හේතුවෙන් කැනීම් ස්ථානයේ ජලය පිරී පැවතීම මත කැණීම් කටයුතු නතර කෙරිණි.

අස්ථි කොටස් මතුවීම
චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්න ස්ථානයක සිදු කළ කැණීමකින් මළ සිරුරු 5කට අයත් අස්ථි කොටස් කිහිපයක් හමුවූ බව යාපනය පොලිසිය පැවසුවේ 2025 වසරේ ජූනි 2 වන දා ය.
මෙම සුසාන භූමිය සංවර්ධනය කිරීමේ කටයුත්තකදී එහි සේවයේ නිරත වූ පිරිසකට 2025 පෙබරවාරි මස 20 වන දා පළමු වරට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබිණි.
අදාළ අස්ථි කොටස් හමුවීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් යාපනය පොලිසිය දැනුවත් කිරීමට සංවර්ධන කටයුතු භාර නිලධාරීන් පියවර ගෙන තිබුණු අතර ඉන් අනතුරුව එහි කැණීම් කටයුතු ආරම්භ විය.
පැවති වැසි තත්ත්වය මත අදාළ ස්ථානයේ කැණීම් කටයුතු කිරීමට නොහැකි වූ අතර, වැසි තත්ත්වය අඩු වීමෙන් පසු යාපනය පොලිසිය, යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග මත අස්ථි කොටස් හමුවූ ස්ථානය සම්බන්ධයෙන් කැණීම් සිදුකිරීමට නියෝගයක් ලබා ගත්තේ ය.
උතුරු පළාතෙන් හමුවී ඇති සමූහ මිනී වළවල්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු පළාතේ ස්ථාන කිහිපයකින් සමූහ මිනී වළවල් හමුවූ අතර, අදාළ ස්ථානවල කැණීම් කටයුතු විටින්විට සිදු කෙරිණි.
2013 වසරේදී මන්නාරම, තිරුකේදීශ්වරන් ප්‍රදේශයෙන් සමූහ මිනී වළක් හමුවූ අතර, අදාළ සමූහ මිනී වළෙන් මිනිස් සිරුරු 88කට ආසන්න ගණනකට අයත් අස්ථි කොටස් ගොඩ ගැනිණි.
ඉන් අනතුරුව මන්නාරම, පැරණි සතොස ගොඩනැගිල්ල ආසන්නයෙන් සමූහ මිනී වළක් 2018 වසරේ මතු කර ගත් අතර, ඒ තුළින් මිනිස් සිරුරු 342ක අස්ථි කොටස් ගොඩගැනිණි. 2018 මාර්තු 26 වන දා සිට 2019 මාර්තු 7 දක්වා සමූහ මිනී වළ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීය.
මන්නාරම සමූහ මිනී වළ සම්බන්ධයෙන් ඇමෙරිකානු රසායනාගාර තුළ කාබන් පරීක්ෂාවන් සිදුකළ අතර, එහිදී අනාවරණය වූයේ අදාළ අස්ථි කොටස් වර්ෂ 1450ත් 1650ත් අතර කාලයකට අයත් බව ය.
මන්නාරම සමූහ මිනී වළ පරීක්ෂණයන්ගෙන් අනතුරුව මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් සමූහ මිනී වළක් හමුවූ අතර, 2023 ජූනි 29 වන දා සමූහ මිනී වළ සම්බන්ධයෙන් වාර්තා විය. 2024 ජූලි 15 වන දා දක්වා කොක්කුතුඩුවායි සමූහ මිනී වළ සම්බන්ධයෙන් කැණීම් සිදුකරනු ලැබීය.
එහිදි මිනිස් සිරුරු 52 කට අදාළ අස්ථි කොටස් මතු කර ගත් අතර, අදාළ සමූහ මිනී වළ 1994 හා 1996 දක්වා කාලයකට අයත් විය හැකි බවට කැණීම් නිලධාරීහු නිගමනය කළහ.
කොක්කුතුඩුවායි සමූහ මිනීවළ හමුවීමෙන් පසුව යාපනය, චෙම්මනෙයි ප්‍රදේශයෙන් අස්ථි කොටස් කිහිපයක් සොයා ගැනිණි.























































