ඖෂධ මිල පහළ දැමීම නිසා බරපතල ගැටළු: ව්‍යාපාරිකයෝ

ඖෂධ

ඡායාරූප මූලාශ්‍රය, AFP

Published

ශ්‍රී ලංකාවේ ඖෂධ මිල පහළ දමන ලෙස හදිසියේ ම ආණ්ඩුව නියෝග කිරීම හේතුවෙන් බරපතල ගැටලු පැන නැගී ඇති බව ඖෂධ ව්‍යාපාරිකයෝ පවසති.

ආණ්ඩුවේ නියෝගය ලැබෙන විට මාස ගණනකට සෑහෙන ඖෂධ තමන් සතුව පැවැති බව පවසන ශ්‍රී ලංකා ඖෂධ ගෙන්වන්නන්ගේ වාණිජ මණ්ඩලයේ සභාපති පාලිත ජයතිලක, අදාළ සංචිත අලෙවිය අවසන් වනතුරු කාලය දෙන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටි බව පැවසීය.

"මේ නියමිත මිල 90% ක් විතර වැටෙන්නේ ආසියාතික රටක මිලක්. එතකොට යුරෝපයෙන් එන බෙහෙතක් මේ මිලට දීමේ අපහසුතාවයක් තියෙනවා," යැයි ඔහු පෙන්වා දුන්නේ ආණ්ඩුවේ නව ඖෂධ මිල පාලන ප්‍රතිපත්තිය පිළිබඳව බීබීසී සංදේශය සමග අදහස් දක්වමිනි.

'ඖෂධ හිඟයක්?'

මේ අනුව, ශ්‍රී ලංකාවේ රෝගීන්ට අනාගතයේදී යුරෝපීය ඖෂධ වර්ග සැපයීම දුෂ්කර වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

ඖෂධ මිල පාලනය කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟයක් ඇතිකිරීමට සැරසෙන බවට එල්ලවන චෝදනා පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ තමන් එවැනි 'අමානුෂික ක්‍රියාවල' නිරත නොවන බවය.

ඖෂධ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ආණ්ඩුවේ නව ප්‍රතිපත්තියට එරෙහිව ප්‍රමිතියෙන් අඩු ඖෂධ වෙළෙඳපොලට නිකුත් කෙරෙනු ඇතිදැයි විමසූ විට සභාපතිවරයා කියා සිටියේ වගකීමෙන් යුතු බොහෝ ව්‍යාපාරිකයින් එවැනි දේට නොපෙළඹෙනු ඇති බවය.

එහෙත් ඔහු පෙන්වා දුන්නේ, "හැබැයි ඒ අවදානම නැහැයි කියල කියන්නත් බෑ, අවදානම තියෙනව," යනුවෙනි.